රටට කිසිදු වාසියක් නැති ස්වෛරීත්වයට හානිකර ආරක්ෂක ගිවිසුම නැවත අත්සන් කරනවාද නැද්ද යන්න ආණ්ඩුව රටට හෙළි කළ යුතු බව ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ ඊයේ(05) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
රාජපක්‍ෂ ආණ්‌ඩුව 2007 දී ඇමරිකාව සමඟ අත්සන් කළ දස වසරක ආරක්‍ෂක ගිවිසුම යළි දීර්ඝ කිරීමට වත්මන් ආණ්‌ඩුව සූදානම් වන බවත් අමෙරිකානු ආරක්‍ෂක අමාත්‍යාංශය සමඟ මෙරට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා 2007 දී අත්සන් කළ මෙම ගිවිසුම මගින් දෙරට අතර යුදමය අවස්ථාවන්වලදී පහසුකම් සැපයිය යුතු බවට එකඟතාවකට පැමිණ තිබූ බවත් හෙතෙම කියා සිටියේය.
ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
“2007 රාජපක්ෂ ආණ්ඩුව සමයේ අපේ රටේ ආරක්ෂක අමාත්‍යාංශයත්, අමෙරිකාවේ ආරක්ෂක අමාත්‍යාංශයත්, අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළා. එයින් දෙරට අතර යුදමය අවස්ථාවන්වලදී පහසුකම් සැපයිය යුතු බවට එකගතාවයකට ඇවිත් තිබුණා. එම ගිවිසුම අත්සන් කළේ අමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් එවකට ශී‍්‍ර ලංකාවේ අමෙරිකාවේ තානාපති රොබට් ඕ බ්ලේක් මහතා සහ ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතායි. රාජපක්ෂ ආණ්ඩුව එදා මේ ගිවිසුම අත්සන් කරන කොට ඇමති මණ්ඩලයටවත් නොකියා රටටත් නොකියා තමයි මේ ගිවිසුම අත්සන් කළේ. එම ගිවිසුම එළියට ආවේ නැහැ. වසර 10කට තමයි ගිවිසුම අත්සන් කර තිබුණේ. 2017 මාර්තු 05 වන විට එම ගිවිසුමේ කාලය අවසන් වෙලා තිබෙනවා.
මෙම ආරක්ෂක ගිවිසුමේ සඳහන් වෙලා තිබෙනවා තවත් වසර 10කට මෙම ගිවිසුම දීර්ඝ කරන්න හැකියාව තිබෙනවා කියලා. අපිට තිබෙන තොරතුරු අනුව වර්තමාන ආණ්ඩුව මෙම ගිවිසුම දීර්ඝ කිරීම සඳහා සාකච්ඡුාවක ඉන්න බව හෙළිවෙලා තිබෙනවා. පසුගිය දා පාර්ලිමේන්තුවේ තිබෙන විදේශ කටයුතු අමාත්‍යාංශ අධීක්ෂණ කමිටු රැස්වීමේදී බිමල් රත්නායක සහෝදරයා මේ ගැන ප‍්‍රශ්න කළා. එවෙලාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් කියා තිබුණේ ඔවුන්ට ඒ පිළිබඳව අවබෝධයක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ආරක්ෂක අමාත්‍යාංශය බවත් කියා තිබුණා. කලින් ආණ්ඩුවත් කළේ ජනතාවටත්, තමන්ගේ කැබිනට් මණ්ඩලයටත් හොරෙන් ගිවිසුම අත්සන් කරපු එකයි. ඒ විදිහටම මේ ආණ්ඩුවත් කාටත් හොරෙන් මෙම ආරක්ෂක ගිවිසුම දීර්ඝ කරන්න යනවද කියලා අපිට සැකයක් තියෙනවා. අපි ආණ්ඩුවට බල කරනවා ශී‍්‍ර ලංකාවේ ආරක්ෂාවට හානිකරන, මෙම ආරක්ෂක ගිවිසුම නැවත අත්සන් කරන්නට එපා කියලා. මෙම ප‍්‍රශ්නය දැනට දැවෙන ප‍්‍රශනයක් ලෙස මතුවෙලා නොතිබුණාට ඉදිරියේදී රටට හානිකර වීමේ හැකියාව තිබෙනවා.
මේක රටවල් දෙකක් අතර ගිවිසුමක්. ගිවිසුමෙන් කියන්නේ කිසියම් යුදමය කටයුතුවලදී දෙරටම එකිනෙකාට උදවු කළ යුතු බවයි. අමෙරිකා එක්සත් ජනපදය මේ කලාපයේ කිසියම් යුදමය කටයුත්තක් කරනවා නම් ඔවුන්ගේ යුද යානාවලට, නැව්වලට සහ සෙබලූන්ට පහසුකම් ලබාදෙන්න අපේ රට බැඳිල ඉන්නවා. ඒ විදිහටම ඇමෙරිකාවත් අපේ රටට යුදමය පහසුකම් ලබාදීමට බැඳිලා සිටින නමුත්, එය අපේ රටට ප‍්‍රායෝගික තත්ත්වයක් නොවන නිසා අපිට උදව් ලැබෙන එකක් නැහැ. නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය මේ වන විටත් යුද මෙහෙයුම්වල නිරත වෙලා ඉන්නවා. ඉදිරියේදීත් ඉන්දියාව සමග චීනය සමග එවැනි ගැටුම්වලට මැදිහත් වේදැයි අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මෙම ගිවිසුම ඇමරිකාවට පමණක් වාසි ලැබෙන ගිවිසුමක්. මේ වන විටත් ඇමෙරිකා එක්සත් ජනපදය දියාගෝගාසියාවල හමුදා කඳවුරක් පවත්වාගෙන යනවා. ඔවුන් විවිධ යුද මෙහෙයුම් කරනවා. පුහුණුවීම් කටයුතු කරනවා. ඒ විදිහටම ලංකාවේ භූමියත් ඔවුන්ට යොදා ගැනීමේ හැකියාව තිබෙනවා.
මෙම ආරක්ෂක ගිවිසුම අපේ රටට කිසිදු ආර්ථික, හෝ ආරක්ෂක ප‍්‍රතිඵලයක් නැති එකක්. එය ප‍්‍රතිඵල දායක වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයට පමණයි. මේ නිසාම ඒකාලයේ මෙම ගිවිසුම අත්සන් කළේ ඇයි කියලා අපිට ප‍්‍රශ්නයක් තිබුණා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඒකාලයේ පෙනී සිටියේ අධිරාජ්‍ය විරෝධී, දේශපේ‍්‍රමී, ආණ්ඩුවක් විදිහටයි. දේශපේ‍්‍රමය ගැන කිව්වොත් බෙල්ල කඩාගන්න ගියපු කට්ටිය මෙවැනි රටට අහිතකර ගිවිසුමක් අත්සන් කළේ ඇයි? ඒ කාලෙත් අපි මෙම ගිවිසුම අහෝසි කරන්න කියලා විශාල අරගලයක් කළා. නමුත් ආණ්ඩුව අහෝසි කළේ නැහැ. දැන් මෙම ගිවිසුමේ කාලය අවසන් වී තිබෙනවා. නමුත් වර්තමාන ආණ්ඩුව මෙම ගිවිසුම අත්සන් කරනවාද නැද්ද යන්න තවමත් රටට හෙළිකරලා නැහැ. අපි ආණ්ඩුවට බල කරනවා ආරක්ෂක අමාත්‍යාංශයේත් ආණ්ඩුවේත් ස්ථාවරය රටට හෙළිකරන්න කියලා.
මෙම ගිවිසුම අපේ රටට කරුණු කීපයකින් අවාසිදායකයි. එකක් තමයි මෙම ගිවිසුමෙන් අපේ රටට කිසිදු ප‍්‍රතිඵලයක් නැහැ. වෙනත් රටකට අපේ රටේ භූමිය ලබාදෙන නිසා ස්වෛරීත්වයට හානි කරයි. ඒ වගේම මෙම ගිවිසුම නිසා අසල්වැසි රටවල් අප සමග අමනාප විය හැකියි. ඉන්දියාව, චීනය වගේ රටවල් අපේ රට කෙරෙහි සැකෙන් බලන තත්වයක් ඇති වෙනවා. මේ කලාපයේ රටවල් එක්සත් ජනපදයට විරුද්ධව කිසියම් යුදමය කි‍්‍රයාමාර්ගයක් ගතහොත් අප අපේ රට ඇමෙරිකාවට උදව් කරන නිසා අනෙකුත් සියලූ රටවල්වල සතුරා බවට අපේ රට පත්වීම වළක්වන්න බැහැ. මේ වන විටත් මැදපෙරදිග රටවල් සමග උතුරු කොරියාව සමග ඇමෙරිකා එක්සත් ජනපදය යුද කි‍්‍රයාමාර්ගවල සහ මත ගැටුම්වල සිටින නිසා එවැනිම තත්ත්වයක් ඉන්දියාව සහ චීනය සමග ඇති නොවෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ.
මෙවැනි ගිවිසුම් ලෝකයේ බලවත් රටවල් දෙකක් අතර, සිදුවුණාට කිසිදු ප‍්‍රශ්නයක් නැහැ. ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය වගේ රටවල් දෙකක් අතර, මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමෙන් දෙරටටම වාසි වෙන්න පුළුවන්. නමුත් අප වැනි රටවල් මෙවැනි ගිවිසුම්වලට එළැඹීමත් එක්සත් ජනපදයට යටත් වීමක්. ඒවගේම මෙම ගිවිසුම අත්සන් කරපු පුද්ගලයන් පිළිබඳවත් ප‍්‍රශ්නයක් තිබුණා. මොකද රටවල් දෙක වෙනුවෙන් ගිවිසුම අත්සන් කරපු පුද්ගලයන් දෙදෙනාම ඇමෙරිකානු පුරවැසියන්. ඇමෙරිකාව වෙනුවෙන් අත්සන් කරපු රොබට් ඕ බ්ලේක් මහතා ඇමෙරිකානු පුරවැසියෙක් වූ අතර, ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරපු ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඇමෙරිකානු පුරවැසියෙක්. මෙම ගිවිසුම කෙතරම් අහිතකර වුනත් වර්තමාන ආණ්ඩුවත් මේ ගිවිසුම අහෝසි කළේ නැහැ. ගිවිසුමට අනුවම යම් නිශ්චිත කාලයකට කලින් දැනුම් දීමකින් පසුව මෙම ගිවිසුමෙන් ඉවත් වීමට හැකියාව තිබෙනවා. “ ඔහු වැඩිදුරටත් පැවසී ය.
No comments:
Post a Comment