විකාශණ අත්හිටුවන බවට නාලිකා දෙකකට තර්ජන.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 18, 2016

විකාශණ අත්හිටුවන බවට නාලිකා දෙකකට තර්ජන..

2017 වසර සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය සම්බන්දයෙන් මේ දිනවල පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විවාදයේදී පිවිතුරු හෙල උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

‘යථාවාදි තථාකාරි තථාවාදි යථාකාරි. කියන දේ කරන්න කරන දේ කියන්න’ මෙන්න මේ බුද්ධ වචනය වැස්සකට පන්සල් ගොඩ වුණු වෙලාවක හරි අපේ මුදල් ඇමතිතුමාට ඇසුණා නම් මේ අයවැය ඉදිරිපත් කරන්නේ නෑ. මේ අයවැය තනිකරම බොරුවෙන් පිරුණු අයවැයක්. කිසිම දැක්මක් නැති ප්‍රතිපත්තියක් නැති අයවැයක්. අපි දැන් බොරු එකින් එක බලමු.

අයවැය කතාව සමග ඉදිරිපත් කළ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ දෙවන ඡේදය පටන් ගන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ දැක්ම ධනාත්මක වේ කියලා. පට්ටපල් බොරුනෙ.ලෝකයේ ප්‍රධානම ආර්ථික ශ්‍රේණිගත කරන සමාගම් තුනක්ම ලංකාවේ ආර්ථිකය ස්ථාවර නෑ කියනවා. 2016 පෙබරවාරි 29 දා ෆිච් ශ්‍රේණිගත කිරීමේ දී ලංකාවේ ආර්ථිකය බීබී සිට බී+ දක්වා පහත දමා තිබෙනවා. 


ග්‍රීක ආර්ථිකය කඩා වැටෙන විට ග්‍රීකයට ලැබුණු ෆිච් ශ්‍රේණිගත කිරීමත් බී+. ඒ කියන්නේ ලංකාවේ ආර්ථිකය කඩා වැටීමේ අවදානමක් තිබෙනවා. ග්‍රීක ආර්ථික කඩා වැටීමෙන් අත් පුළුස්සා ගත් ආයෝජකයෝ දැන් ලංකාවේ බැඳුම්කර වල ආයෝජනය කරාවි ද? අඩුම ගණනේ ලංකාවට අඩු පොලියට ණය ලබා දේවි ද?

2016 මාර්තු 10 තවත් ප්‍රමුඛ පෙලේ ශ්‍රේණිගත කරන ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ්ස් ඇන්ඩ් පුවර්ස් ලංකාවේ ආර්ථිකය බී+ ස්ථාවර සිට අවදානම් මට්ටමට පහත දමා තිබුණා. ඒ වගේම 2016 ජූනි මාසයේ දී මූඩිස් විසින් ලංකාවේ ආර්ථිකය බී1 ස්ථාවර මට්ටමේ සිට සෘණ නැතිනම් අවදානම් මට්ටමට පහත දමා තිබුණා.

ෆිච්, ස්ටෑන්ඩර්ඩ්ස් ඇන්ඩ් පුවර්ස් සහ මූඩිස් යන ආයතන තුනම ලංකාවේ ශ්‍රේණිය පහත දැමීමට හේතුත් කියා තිබුණා. ආර්ථික වර්ධනය කඩා වැටීම, රාජ්‍ය මූල්‍ය හිඟය ඉහළ යෑම, ගෙවුම් ශේෂ හිඟය භයානක අඩියකට වැටීම, ආණ්ඩුව පාලනයකින් තොරව ණය ගැනීම, ණය පොලී අධික ලෙස ඉහළ යෑම සහ රාජ්‍ය මූල්‍ය කලමනාකරණය පිලිබඳ ආණ්ඩුව කෙරෙහි තැබූ බලාපොරොත්තු සුන් වීම තමයි හේතු විධියට දක්වලා තිබෙන්නේ. හැම ආයතනයක්ම බැනලා තිබෙන්නේ මුදල් ඇමතිතුමාටයි. හොඳ වෙලාවට ලංකාවේ පත්තර මේකට වැඩි ප්‍රසිද්ධියක් දුන්නේ නෑ. පත්තරේ දැම්මා නම් ජනාධිපතිතුමා මුදල් ඇමතිව වහාම ඉවත් කරනවා.

මේ ශ්‍රේණිගත කිරීම් ගැන ආයෝජකයෝ දන්නවා. ඒ අතරේ මුදල් ඇමතිතුමා ලංකාවේ ආර්ථිකයේ දැක්ම ධනාත්මකයි කියන විට මුදල් ඇමතිතුමා බොරු කියන්නේ කියලා මේ අය දන්නවා. ඉතින් අයවැය පිලිබඳ කවුරුත් කිසිම විශ්වාසයක් තබන්නේ නෑ.

ලංකාවේ ආර්ථිකය ග්‍රීසිය වගේ කඩා ගෙන වැටේවි කියලා ආයෝජකයෝ බුරුතු පිටින් කොටස් වෙළඳපොලෙන් ඉවත් වෙනවා. අඩන්න ඉන්න කෙනාට ඇඟිල්ලෙන් ඇන්නා වගේ කොටස් වෙළඳාමට බදු පිට බදු පනවලා ඉන්න ආයෝජකයින් සුළු පිරිසත් පන්නා දැමීමට මුදල් ඇමතිතුමා කටයුතු කරලා තිබෙනවා. 2014 දී ආසියාවේ හොඳම කොටස් වෙළඳපොල වුණු කොළඹ කොටස් වෙළඳපොලේ අද තත්වය කුමක්ද? 


2014 දෙසැම්බර් මස වෙළඳපොල ප්‍රාග්ධනය රුපියල් ට්‍රිලියන 3.2ක් කොටස් වෙළඳපොල 2016 ඔක්තෝම්බර් වන විට ට්‍රිලියන 2.7 දක්වා පහත වැටිලා. මෙතුමන්ලාගේ ආර්ථික සුපිරි මොල වලට පිං සිද්ද වෙන්න ආයෝජකයින්ට සිදු වුණු පාඩුව රුපියල් බිලියන 500ක්. මාස 22ට රුපියල් බිලියන 500ක් පාඩු සිදු වුණාම කවුද ලංකාවේ ආයෝජනය කරන්නේ?
අපේ අගමැතිතුමා හොංකොං ගිහින් අපි ඩිජිටල් ආර්ථිකයක් ගොඩ නගමින් ඉන්නවා යැයි කිව්වා. දැන් ආයෝජකයෝ බලාපොරොත්තු වෙන්නේ තාක්ෂණය භාවිතා කිරීමට සහන දිරි ගැන්වීම් ලබා දේවි කියලා. ඇත්තෙන්ම අයවැයෙන් මොකද කලේ? අන්තර්ජාල පහසුකම් සඳහා 25% බද්දක් දැම්මා. 

සිම් කාඩ්පත සක්‍රිය කරන්න රු 200/- බද්දක්. ඊසි කෑෂ් වැනි අන්තර්ජාල පහසුකම් භාවිතා කරන අයට බද්දක්. දැන් රට ඩිජිටල් කරනවා තබා අන්තර්ජාලය පැත්තේ ජනතාව යාවි ද? ආණ්ඩුව සිඑස්එන් නාලිකාවේ විකාශන බලපත්‍රය අත්හිටෙව්වා. තවත් නාලිකා දෙකකට බලපත්‍රය අත් හිටුවන බවට තර්ජනය කලා. 

පුවත්පත් කතුවරුන්ට සට්ටැඹිරාලලා කියලා අපහාස කලා. මේ විධියට බය කරලා විද්‍යුත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය මර්දනය කරමින් ඉන්නවා. නමුත් කර්තෘලා නැති අයිතිකාරයෝ නැති ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය මර්දනය කරන්න ක්‍රමයක් නෑ. අද ආණ්ඩු විරෝධි රැල්ල වැඩිපුරම දකින්න පුළුවන් ෆේස්බුක් එකෙ. ජනතාව ඒවා භාවිතා කිරීම අදිරිමත් කරන්න තමයි මෙවැනි බදු පනවන්නේ.

අන්තර්ජාලයට මෙතරම් බදු ගහලා ඩිජිටල් ආර්ථිකයක් හදන්නේ කොහොම ද? ගරු අගමැතිතුමනි, ගරු මුදල් ඇමතිතුමනි, දෙන්නා කතා වෙලා මොකක් හරි එක බොරුවක් කියන්න. අගමැති හොංකොං කියන කතාවයි මුදල් ඇමති අයවැයේ කියන කතාවයි අතර බරපතල පරස්පරයක් ඇති වුණාම ආයෝජකයින් මේ ආණ්ඩුව විශ්වාස කරන්නේ කොහොමද? අළුතින් ආයෝජකයින් ආකර්ෂණය කිරීම කෙසේ වෙතත් අපි බොහොම අමාරුවෙන් රටට ගෙනා විදේශික ආයෝජකයින් රඳවා ගන්න නම් මේ පරස්පරය විසඳා ගන්න ඕනෑ.

මේ පරස්පරය තිබෙන්නේ අගමැතිගේ ඩිජිටල් ආර්ථිකයට විතරක් නොවේ. ජනාධිපති 2017 දිළිඳුකම දුරැලීමේ වසර ලෙස නම් කරනවා. මුදල් ඇමති සමාජ ශුභ සාධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන 76%කින් කපා හරිනවා. අගමැතිතුමා නවසීලන්තයේ ගිහින් ඇවිත් ලංකාව කිරි වලින් ස්වයංපෝෂිත කරන බව කියනවා. 


මුදල් ඇමති ආනයනිත කිරිපිටි වලට සහන දෙනවා. ප්‍රාග්ධන වෙළඳපොල දියුණු කළ යුතුයි මුදල් ඇමතිම කියනවා. ඒ අතරේ අයවැයෙන් ප්‍රාග්ධන බදු ගහලා ඒකක භාර නැතිනම් යුනිට් ට්‍රස්ට් වලට තිබුණු සහන කපා දාලා ප්‍රාග්ධන වෙළඳපොල විනාශ කරනවා. මේක කියන දේ නොකරන නොකියන දේම කරන ආණ්ඩුවක්. කෝ අර යථාවාදි තථාකාරි ගුණය?

මේ ආණ්ඩුව බලයට ආපු 2015 ජනවාරි මාසයේ ලෝකයේ ගෑස් මිල දැන් මිලත් සමග සංසන්දනය කළාම 45%ක් අඩු වෙලා. එහෙම නම් 2015 ජනවාරි මාසයේ දීරු 1320/-ට විකුණූ ගෑස් සිලින්ඩරය දැන් විකුණන්න ඕනෑ රු 726/-ට. රු 594කින් අඩු කරන්න ඕනෑ ගෑස් සිලින්ඩරේ තමයි රු 25/-කින් අඩු කරලා ඇඟ බේරා ගන්න හදන්නේ. 


ඒ වගේම එදා ඩොලර් 110ට තිබුණු බොරතෙල් බැලරයක් ඩොලර් 30 දක්වා පහත වැටිලා දැන් ඩොලර් 46 වී තිබෙනවා. අපේ ආණ්ඩුව සමයේ මිල සමග බලන විට ලෝක වෙළඳපොලේ මිල බාගයකටත් වඩා අඩුයි. ඡන්ද කාලයේ කිව්වේ නම් ඉන්ධන මත තිබෙන බදු සියල්ල ඉවත් කරනවා කියලා. අද වන තුරු කිසිම බද්දක් ඉවත් කලේ නෑ.අඩුම ගණනේ ලෝක වෙළඳපොලේ මිළ අඩු වීමේ වාසිය වත් ජනතාවට ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

පසුගිය මැතිවරණ වල දී කිව්වේ ධනපතියන්ගෙන් ගන්නා සෘජු බදු වැඩි කරලා අහිංසක දුප්පත් ජනතාව මත තිබෙන වක්‍ර බදු අඩු කරනවා කියලා. වැට් එන්බීටි මේ සියල්ලම තොග පිටින් වැඩි කරලා දුප්පත් ජනතාවගේ රීරි මාංශයම උරා බොනවා මිස ධනපතියන්ට සෘජු බදු වැඩි කරන්න කිසිම උනන්දුවක් නෑ. ඒ වෙනුවට කලේ ගජ මිතුරන්ට බදු සහන දුන්නා. ජනාධිපති එක පැත්තක මතට තිත ගැන දේශනා කරනවා. මුදල් ඇමතිතුමා අනිත් පැත්තේ තිතට මත. 


ගජ මිතුරු සමාගමක් වන ලයන් බෘවරි සමාගමට බියර් ආනයනය කරන්න බදු සහන දෙනවා. එතකොට ජනාධිපතිතුමාගේ මතට තිතට මොකද වෙන්නේ? ඒ වගේම ලෝක වෙළඳපොලේ ඉන්ධන මිළ පසුගිය මාස 22 තුල ඇදගෙන වැටුණා. නමුත් මේ කාලය තුල තෙල් ගෑස් මිළ අඩු කරලා ඒ වාසිය ජනතාවට නොදුන් නිසා අයිඕසි ලංකා සමාගම වගේම සියළුම ගෑස් සමාගම් පසුගිය කාලයේ අසාමාන්‍ය ලාභයක් ලැබුවා. 

අපි බලාපොරොත්තු වුණා ඒ සමාගම් මත සුපිරි ලාභ බද්දක් පනවලා එයින් කොටසක් භාණ්ඩාගාරයට ගනීවි කියලා. ඒ වගේම වංචාවෙන් ප්‍රකෝටි ගණනක් උපයපු පර්පෙචුවල් ට්‍රෙෂරීස් වලට කිසිම බද්දක් පනවලා නෑ. මරණාසන්න ලෙඩාටත් වැට් බද්ද ගහන්න ලොකු උනන්දුවක් පෙන්වපු ආණ්ඩුව ගජ මිතුරු සමාගම් වල සුපිරි ලාභයට බදු ගහන්න ඒ උනන්දුව නෑ කියලා මේ අයවැය පෙන්නුවා.

අයවැය යෝජනා අතුරෙන් නරකම යෝජනාව තමයි නඩු පැවරීමටත් ගාස්තුවක් අය කිරීම. මේක නම් ඒකාබද්ධ විපක්ෂය ඉලක්ක කර ගත් යෝජනාවක්. අපි පසුගිය කාලයේ ආණ්ඩුවට එරෙහිව විශාල නඩු ගණනාවක් ගොනු කලා. වැට් බදු පනත පමණක් අපි තුන් වරක් උසාවියේ අභියෝගයට කළා. 


එයින් මුදල් ඇමතිතුමා දැඩි පීඩනයකට ලක් වුණා. විද්දේ ඒකාබද්ධ විපක්ෂයට වුණත් වැදුනේ ජනතාවට. කෙනෙකු උසාවියට යන්නේ තමන්ට අසාධාරණයක් වුණාම යුක්තිය ඉටු කර ගන්න. නමුත් මේ ආණ්ඩුව නඩු පැවරීමට ගාස්තුවක් නියම කරලා යුක්තිය කියන්නේ ඇති හැකි අයට පමණක් භුක්ති විඳිය හැකි සුපිරි භාණ්ඩයක් බවට පත් කරලා.

වැඩවසම් යුගයේ දී තිබුණෙත් මේ වගේ තත්වයක්. තමන්ට අසාධාරණයක් වුණාම ගම් මුලෑදෑනියාට පැමිණිලි කරලා යුක්තිය ඉටු කර ගන්න ඕනෑ. ඒ වැඩේට ගම්මුලෑදෑනියා මුණ ගැසෙන්න යන විට දැකුම් නමින් තුටු පඬුරු ගෙනි යන්න ඕනෑ. දැකුම් ගෙන යන්න වත්කමක් නැති නම් යුක්තිය අමතක කරලා දාන්න අසරණ ජනතාවට සිදු වෙනවා. නඩු පවරන්න ගාස්තුවක් නියම කරලා මේ රට යලිත් වැඩවසම් යුගයට තල්ලු කිරීම පිිලිබඳ අපි කණගාටු වෙනවා.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත ඉටේරි ක්වින්ට්‍රාඩ්ස් මැතිණිය රවි ඇමතිතුමාගේ වෙස් මුහුණක් දාගෙන මෙවර අයවැය ඉදිරිපත් කරනවා කියලා ලොකුවට කටකතාවක් පැතිරිලා තිබුණා. අයවැය කතාවේ දී ඉතාම අමාරුවෙන් සිංහල උච්චාරණය කරන විට අපේ සැකය දෙගුණ තෙගුණ වුණා. 


නව බදු සියල්ල ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කරන විට අපේ සැකය තහවුරු වුණා. අවසානයේ දී අයවැය තුල තිබෙන්නේ ලිබරල්කරණය, පොද්ගලීකරණය සහ සහන කප්පාදුව කියන එක දැක්කාම දැන් අපිට 100%ක් විශ්වාසයි මේ අයවැය ඉදිරිපත් කලේ ඉටේරි නෝනා මිස රවි ඇමතිතුමා නොවේ. ඉටේරි නෝනා කළ වරදට රවි ඇමතිතුමාව කෝටු මස් කරන්න අද අපට සිදු වෙලා තිබෙනවා.

අපි දන්නවා ලෝක ඉතිහාසයේ නරකම බදු අය කිරීම වාර්තා වෙන්නේ ක්‍රිස්තු පූර්ව හතර වන සියවසේ ඉන්දියාවේ මගධයේ. ධනානන්ද රජතුමා උපතේ සිට මළ මිනිය දවන දර සෑය දක්වා සියල්ලටම බදු අය කළා. ලංකා ඉතිහාසයේ නරකම බදු අය කළ යුගය තමයි ටොරිංටන් ආණ්ඩුකාරවරයාගේ යුගය. බලු බද්ද, මාර්ග බද්ද සහ කරත්ත බද්ද ආවේ මේ යුගයේ. 


ජනතාවගේ කැරලි ගැසීම නිසා ධනානන්ද රජතුමාට සිහසුන අත්හැර පලා යන්න වුණා. ටොරිංටන් ආණ්ඩුකාරතුමාට තනතුර අත්හැර ආපසු එංගලන්තයට යන්න වුණා. මෙදා පොටේ මුදල් ඇමතිතුමා ඉදිරිපත් කර්කශ බදු රොත්ත නිසා ජනාධිපති සිරිසේනට තනතුරත් රටත් දෙකම අත්හැර යෑමට සිදු වෙන්න ඉඩ තිබෙනවා.

මුදල් ඇමතිතුමාගේ අයවැයට ලොකුම අභියෝගය තිබෙන්නේ ජනාධිපති සහ අගමැතිගෙන්. පසුගිය වතාවේ ඒ දෙන්නා එකතු වෙලා ගරු කතානායක තුමනි කියන වචන තුන පමණක් ඉතිරි කරලා අනිත් සේරම වෙනස් කලා කියලා තමයි ජනතාව කියන්නේ. ඒ නිසා මෙදා පාර හැම ක්ෂේත්‍රයටම මුදල් කපා හැරලා ජනපති සහ අගමැතිට විතරක් දැවැන්ත වැඩිවීමක් ලබා දීලා.


කෘෂිකර්මය, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ප්‍රවාහනය හැම ක්ෂේත්‍රයකම ප්‍රතිපාදන කපා හරින විට ජනාධිපතිට 170%ක වර්ධනයක්. අගමැතිට 158%ක වර්ධනයක්. මොකද්ද මේ කියන්නේ? බුදු සර්! මට අනුකම්පා කරලා මෙදා පාරවත් මගේ අයවැය මට බේරලා දෙන්න කියන එකයි. ඒ නිසා ලබන වසර වෙන විට මේ ඉදිරිපත් කළ අයවැයෙන් පුංචි කෑල්ලක් වත් එතුමාට ඉතිරි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

– අරවින්ද අතුකෝරල

No comments:

Post a Comment

Post Bottom Ad