කිලිනොච්චියේ ඉදිකෙරෙන බුදු මැදුරකට උතුරු සබෙන් තහනමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

කිලිනොච්චියේ ඉදිකෙරෙන බුදු මැදුරකට උතුරු සබෙන් තහනමක්

කිලිනොච්චියේ ඉදිකෙරෙන බුදු මැදුරකට උතුරු සබෙන් තහනමක්
ආරක්ෂක අංශ විසින් කිලිනොච්චිය, ඉරණමඩු අම්මාන් කෝවිල සීමාවේ ස්ථාපිත කරමින් පවතින බෞද්ධ මන්දිරයේ ඉදිකිරීම් වහාම නවතා දැමිය යුතු බවට උතුරු පළාත් සභාව විසින් යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රික් උතුරු පළාත් සභා මන්ත්‍රී සුබ්‍රමනියම් පසුපතිපිල්ලේ මහතා විසින් පසුගිය 16වනදා පළාත් සභා සැසි වාරය පැවති අවස්ථාවේදී මෙම යෝජනාව පළාත් සභාව වෙත ඉදිරිපත් කළ අතර එම යෝජනාව පළාත් සභා මන්ත්‍රී කන්දයියා සර්වේශ්වරන් මහතාගේ ස්ථිරත්වයෙන් පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන් සම්මත කරගෙන ඇත.

අදාළ යෝජනාව සම්මත කළ පළාත් සභා මන්ත්‍රී කන්දයියා සර්වේශ්වරන් මහතා පැවසූවේ කිලිනොච්චිය, ඉරණමඩු අම්මාන් කෝවිලට අයත් ඉඩම් අක්කර 04ක ප්‍රමාණයක් යුධ හමුදා කඳවුරක් වෙත පවරාගෙන ඇති බවත් එම ඉඩමේ මේ වන විට විශාල බුදු මැදුරක් ස්ථාපිත කරමින් සිටින බැවින් අදාළ බුදු මැදුර ඉදිකිරීම වහාම නවතා දැමිය යුතු බවත්ය.

සර්වේශ්වරන් මහතා වැඩිදුරටත් පැවසූවේ මුලතිව් කෝකිලායි ප්‍රදේශයේ ද පෞද්ගලික ඉඩමක විහාරයක් ඉඳිකරමින් පවතින අතර අදාළ විහාරය ඉඳිකිරීම ද නවතා දැමිය යුතු බවයි.

අදාළ කාරණය සම්බන්ධයෙන් උතුරු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වී. ජයතිලක මහතාගෙන් විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ පළාත් සභා විපක්ෂ මන්ත්‍රීවරුන් අදාළ යෝජනාවට එරෙහිව අදහස් ප්‍රකාශ කරමින් විරුද්ධ වුවද දෙමළ ජාතික සන්ධාන බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත යෝජනාව සම්මත කිරීමට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් කටයුතු කළ බවයි.

වන්නි - රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad