ගල් අඟුරු මිලදීගැනීම ගැන සොයා බලන්න ත්‍රිපුද්ගල කමිටුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 13, 2016

ගල් අඟුරු මිලදීගැනීම ගැන සොයා බලන්න ත්‍රිපුද්ගල කමිටුවක්

ගල් අඟුරු මිලදීගැනීම ගැන සොයා බලන්න ත්‍රිපුද්ගල කමිටුවක්
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් නොරොච්චෝල ගල් අඟුරු විදුලි බලාගාරය සඳහා ගල් අඟුරු මිලදීගැනීමේ ක‍්‍රමවේදය සම්බන්ධව පවතින තත්ත්වය පිළිබඳ කරුණු සොයාබැලීම සඳහා ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.

අද (13) පෙරවරුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී එම ත‍්‍රිපුද්ගල කමිටුව පත් කිරීම සිදුකෙරිණි.

ඒ අනුව මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කේ.කේ.වයි ඩබ්.පෙරේරා, සර්ටිෆයිඞ් මැනේජ්මන්ට් එකවුන්ටන්ට්ස් ආයතනයේ සභාපති, මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජනක බී.ඒකනායක මෙලෙස පත්කර ඇති බව අමාත්‍යංශ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

මේ අවස්ථාවේදි අදහස් දක්වමින් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙසේ ද සඳහන් කළේය.

“මේ දිනවල ගල් අඟුරු මිලදී ගැනීම විශේෂ කතාබහකට ලක්වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී තිබෙනවා. මේ වනවිට එය ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතිපතිතුමාගේ උපදෙස් පතා තිබෙනවා. එම උපදෙස් ලද වහාම ඊට ගැළපෙන පරිදි අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්න අපි සූදානමින් සිටිනවා. 

ඊට අමතරව විගණන විමසුමක් මේ සම්බන්ධයෙන් යොමුවෙලා තිබෙනවා. ඊටත් ඉතාම ඉක්මණින් සම්පූර්ණ පිළිතුරු යවන ලෙස මාගේ අමාත්‍යාංශයට මෙන්ම අදාළ ආයතන වලට නියෝග කරනු ලැබුවා. තවත් වැදගත්ම කොටසක් වන්නේ, සමාජයේ කතාබහට ලක්වෙලා තිබෙනවා වර්තමාන ගල් අඟුරු මිලදී ගැනීම නිසා යම්කිසි පාඩුවක් රටටත් විදුලිබල මණ්ඩලයටත් සිදුවුණා කියලා. 

මේ පිළිබඳ සොයාබැලීමත් ඉතා වැදගත්. ඒ නිසා මේ ක්ෂේත‍්‍රයට සමබන්ධ ඉතාම විද්වත් පුද්ගලයන් තිදෙනෙකුගෙන් යුත්  ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කළා. අපි එතුමන්ලාට කල් දුන්නා ජූලි මස 29 වන දින වනවිට අපිට මේ සම්බන්ධ පැහැදිළි වාර්තාවක් ලබාදෙන ලෙසට. එම වාර්තාව ලැබීමත් සමගින් අපට හැකිවේවි රටට මේ සම්බන්ධයෙන් ඉතාම නිවැරදි මෙන්ම පැහැදිළි මතය ඉදිරිපත් කරන්න“

No comments:

Post a Comment

Post Bottom Ad