භික්ෂුවකට පොලිස් ප්‍රහාරයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 25, 2016

භික්ෂුවකට පොලිස් ප්‍රහාරයක්

භික්ෂුවකට පොලිස් ප්‍රහාරයක්
පොලිස් නිලධාරියෙකු විසින් ආරක්ෂිත හිස් වැසුමකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ භික්ෂුවක් ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස රෝහල් ගත වී ඇත්තේ දංකොටුව - මැල්ලව ශ්‍රී සුවිසුද්ධාරාම විහාරස්ථානයේ විහාරවාසී යක්දෙස්සාවේ සෝමාලෝක හිමිය. ඊයේ (24)  මධ්‍යම රාත්‍රී 12.30 ට පමණ මෙම පහරදීම සිදු වී ඇති බව සඳහන් වන අතර පහරදීම සිදුකර ඇත්තේ දංකොටුව පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙක් විසිනි.

දංකොටුව පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඊයේ රාත්‍රී මුර සංචාරක රාජකාරියේ නිරත වෙමින් සිටින විට මැල්ලව ප්‍රදේශයේ දී සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයා පොලීසිය වෙත රැගෙන යාමට පොලිස් නිලධාරීන් සුදානම් වන විට එම ස්ථානයට පැමිණ ඇති පහර කෑමට ලක්වූ බව කියන භික්ෂුව ඊට විරෝධය පළ කර ඇත.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මැල්ලව ප්‍රදේශයේ සමෘද්ධි බැංකුවක මුරකරුවෙකු ලෙස සේවය කරන අයෙකු බවත්, අවශ්‍යය වන්නේ නම් ඔහුව තමන් වහන්සේ විසින් ත්‍රී රෝද රථයකින් පොලිස් ස්ථානය වෙත ගෙනවිත් බාර දීය හැකි බවත් ඒ හිමියන් ප්‍රකාශ කොට තිබේ. එම අවස්ථාවේ දී ඇති වූ බහින් බස්වීමෙන් අනතුරුව එක් පොලිස් නිලධාරියෙකු විසින් තම අත තිබූ ආරක්ෂිත හිස් වැසුමකින් එම භික්ෂුවට පහර දී ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධියෙන් පසුව විහාරස්ථානයට එක්වී ඇති ගම්වැසියන් පහර කෑමට ලක් වූ ස්වාමීන් වහන්සේව මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත. හලාවත පොලීසිය මේ සම්බන්ධව විශේෂ විමර්ශන සිදු කරයි.     

පුත්තලම - ජූඩ් සමන්ත

No comments:

Post a Comment

Post Bottom Ad