වන්දිගන්න ග්‍රාම නිලධාරිවරුන් හරහා වහාම ලියාපදිංචි වන්න - රජයෙන් ඉල්ලීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 25, 2016

වන්දිගන්න ග්‍රාම නිලධාරිවරුන් හරහා වහාම ලියාපදිංචි වන්න - රජයෙන් ඉල්ලීමක්

වන්දිගන්න ග්‍රාම නිලධාරිවරුන් හරහා වහාම ලියාපදිංචි වන්න - රජයෙන් ඉල්ලීමක්
ගංවතුර හා නායයාම් නිසා සම්පුර්ණයෙන් විනාශ වූ හා අර්ධ වශයෙන් හානි සිදුවූ නිවාස හා දේපළවලට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 25 දක්වා වන්දි ලබාදීම සිදුකරන බැවින් සිය ප්‍රදේශවල ග්‍රාම නිලධාරිවරුන් හමුවී ලියාපදිංචි වන ලෙස රජ‍ය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙන අතර එම නිවේදනය පහතින් දැක්වේ.

ප‍්‍රවෘත්ති නිවේදනයයි

පසුගියදා දිවයිනේ පෙදෙස් කිහිපයක සිදුවූ ජලගැලීම්, නායයෑම් ඇතුළු ආපදා හේතුවෙන් පූර්ණ හා අර්ධ වශයෙන් විනාශ වූ නිවාස හා දේපළ වලට වන්දි ලබාදීම සිදුකරන බැවින් එවන් හානි පිළිබඳව තම ප‍්‍රදේශවල ග‍්‍රාමනිලධාරි වෙත වහා ලියාපදිංචි කරන මෙන් රජය විපතට පත් වූ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙවන් විපත් ඇති වන අවස්ථාවන්හි සිදුවන නිවාස හා දේපළ හානි වලට වන්දි ගෙවීමට හැකිවන පරිදි රජය විසින් මුළු දිවයිනටම බලපාන පරිදි රු. කෝටි 1000ක (රු. බිලියන 10) රක්ෂණ ආවරණයක්, රක්ෂණභාර අර මුදල වෙතින් ලබාගෙන තිබේ.

මේ යටතේ පසුගිය දා ඇති වූ ස්වාභාවික විපත්වලින් හානියට පත් වූ නිවාස හා දේපළවලට රු. ලක්ෂයේ සිට රු. ලක්ෂ 25 දක්වා වන්දි ගෙවනු ලැබේ. මෙසේ වන්දි ලබාගැනීම සඳහා ග‍්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ලියාපදිංචි කරන ලද නිවාස හා දේපළ තක්සේරු කිරීම කඩිනමින් අවසන් කිරීමට හැකිවන පරිදි ඉක්මනින් ලියාපදිංචි කරන ලෙස වැඩිදුරටත් දන්වනු ලැබේ. 

මේ වනවිට පූර්ණ වශයෙන් නිවාස 540 ක් හා අර්ධ වශයෙන් නිවාස 4190 ක් හානියට පත්ව ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මේ අතර විපතට පත් වූ ජනතාවට අවශ්‍ය සහන සැලසීම හා ඔවුන්ගේ සියලූම ආකාරයේ අවශ්‍යතාවන් සැපයීම සඳහා අවශ්‍ය මුදල් කිසිදු සීමාවකින් තොරව නිදහස් කිරීමට මහාභාණ්ඩාගාරය වෙත රජය විසින් උපදෙස් දී ඇත.

ජලගැලීම සිදු වූ මොහොතේ සිට විපතට පත් ජනතාව එම විපතින් බේරාගැනීම ඇතුළුව අවශ්‍ය කරන සියලූම ආධාර ලබාදීම පිණිස මහාභාණ්ඩාගාරය විසින් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙත රු. මිලියන 200ක් මේ වන විට නිදහස් කර ඇත. ජනතාවට අවශ්‍ය හදිසි ආධාර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ත‍්‍රිවිධ හමුදාව, පොලිසිය, රජයේ නිලධාරීන් හා මහජනතාවගේ ද සහය ඇතිව ලබාදෙන ලදි. 

මෙම ජලගැලීම් හා නායයෑම් හේතුවෙන් පවුල් 57,089 ට අයත් පුද්ගලයින් 229,573 ක් අවතැන් විය. එයින් බොහෝ පිරිස් දැනට තම නිවෙස්වලට ගොස්  සිටින නමුදු පවුල් 25,954 ට අයත් පුද්ගලයන් 120,132 ක් තවමත් සුබසාධන කඳවුරුවල රැඳී සිටිති. 

දැනට මොවුන් සඳහා සුබසාධන කඳවුරු 265 ස්ථාපිත කොට ඇති අතර එම ජනතාව ආපසු තම නිවෙස්වලට යන තෙක් ඔවුන්ට අවශ්‍ය වියලි ආහාර ඇතුලූ අනෙකුත් සියලූම ද්‍රව්‍යමය අවශ්‍යතාවන් සැපයීමට ආපදා කළමනාකරණ අමාත්‍යංශය විසින් කටයුතු යොදා ඇත. 

විපතට පත් වූ ජනතාව අතර සිටින පාසල් ළමුන්ට අවශ්‍ය පොත්පත් , පාසල් නිල ඇඳුම් හා අනෙකුත් අවශ්‍යතාවයන් රජය විසින් සපයනු ලැබේ. මෙම අවශ්‍යතාව අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ලබාදෙනු ලබන අතර ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබා දෙනු ලැබේ.

මෙම විපත සිදු වූ වහාම විවිධ සංවිධාන හා පරිත්‍යාගශීලීන් විසින් පිසූ ආහාර හා වියළි ආහාර ඇතුළු අනෙකුත් අවශ්‍යතා ලබාදීම පිළිබඳ රජය කෘතවේදිත්වය පළ කර සිටියි. විපතට පත් ජනතාවගේ ඉදිරි අවශ්‍යතා සැපයීම සඳහා ක‍්‍රමානූකූල වැඩපිළිවෙළක් රජය විසින් දැනටමත් දියත් කර ක‍්‍රියාත්මක කරමින් පවතින බැවින් විපතට පත්වූවන්ට තවදුරටත් ආධාර සැපයීමට කැමැත්තෙන් සිටින පරිත්‍යාගශීලීන් වේ නම් මූල්‍ය වශයෙන් එම ආධාර සපයන ලෙස රජය ඉල්ලා සිටියි. 

එම මුදල් ආධාර කොළඹ 07, නිදහස් චතුරශ‍්‍රයේ ලංකා බැංකු ශාඛාවේ විවෘත කර ඇති අංක 7040171 යන ආපදා සහන ගිණුමට බැර කළ හැකිය.

ආචාර්ය දර්ශනී ගුණතිලක
රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

No comments:

Post a Comment

Post Bottom Ad