සංවර්ධන නිලධාරීන් මැයි 12 කොළඹට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 11, 2016

සංවර්ධන නිලධාරීන් මැයි 12 කොළඹට

සංවර්ධන නිලධාරීන් මැයි 12 කොළඹට
බරපතල වෘත්තීය කප්පාදු කිරීමකට අදාල බලධාරීන්ගේ නිසි විසඳුමක් නොමැති බැවින් ඊට එරෙහි ව උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ග සඳහා අවතීර්ණයවන බව රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, 
"රටපුරා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 332ක ග‍්‍රාමසේවා වසම්වලට අනුයුක්ත ව රාජකාරී කරන සංවර්ධන නිලධාරීන් ප‍්‍රමාණය 16000 කට ආසන්න වේ. 

සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාව අනුවත්, සංවර්ධන නිලධාරීන්ගේ රාජකාරී ලැයිස්තුව අනුවත් සැලකූවිට ග‍්‍රාමීය සංවර්ධන කටයුතු සම්බන්ධව වගකීම හා බැඳීම අදාල වී ඇත්තේ සංවර්ධන නිලධාරීන්ට ය.
මෙවැනි ව්‍යවස්ථානුකූල තත්වයක් පවතිද් දී 2016.03.24 දින ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය 02/2016 චක‍්‍රලේඛ නිකුත් කරමින් සංවර්ධන නිලධාරීන්ගේ ප‍්‍රාදේශීය සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්වන වගකීම ග‍්‍රාම නිලධාරීන් වෙත පවරා ඇත.

එම තීරණය අසාධාරණ බවත් අදාල චක‍්‍රලේඛය සංශෝධනය කර සංවර්ධන නිලධාරීන්ගේ රාජකාරී යළි තහවුරු කරන ලෙස ගරු අග‍්‍රාමාත්‍යවරයාගෙන් 04/05 වැනි දා අප සංගමය ලිඛිත ව ඉල්ලීමක් කර ඇත. 

දෙවනුව 04/19 මූලික අයිතීන් කඩ කිරීමට එරෙහි ව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි ගොනු කර ඇත. තෙවනුව 04/28 දින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡා කර ඇත. සිව්වනුව 05/03 වැනි දා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡා කර ඇත. එහෙත් විෂයභාර අමාත්‍යවරයාවන අග‍්‍රාමාත්‍යතුමාගේ හෝ අමාත්‍යාංශ බලධරයකු මේ දක්වා රාජකාරී ඉවත් කිරීම පිළිබඳ පිළිගත හැකි විසඳුමක් ලබා දී නැත. 

ඒ අතර ඉහත අමාත්‍යාංශය 02/2016 (i) චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එමගින් පැවති තත්ත්වය තවත් උග‍්‍ර කර ඇත. එම චක‍්‍රලේඛය අනුව සංවර්ධන නිලධාරී උපාධිධාරීන්ට ග‍්‍රාම නිලධාරීන්ගේ සහායකයින් ලෙස රාජකාරී කිරීමට සිදුවීම වැළැක්විය නොහැක.

මෙවැනි බරපතල වෘත්තීය කප්පාදු කිරීමකට අදාල බලධාරීන්ගේ නිසි විසඳුමක් නැති නිසා ඊට එරෙහිව උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ග සඳහා අවතීර්ණයවීමට අප සංගමය තීරණය කර ඇත. මෙම තීරණය ගැනීමත් සමග ක‍්‍රියාමාර්ගය කඩාකප්පල් කිරීමට ආණ්ඩුවේ ප‍්‍රාදේශීය දේශපාලඥයින් මෙන්ම විවිධ පොලිස් ස්ථානවල නිලධාරීන් සංවර්ධන නිලධාරීන් බිය ගැන්වීම් කරමින් පවතින බව වාර්තා වෙමින් පවතී. 

වෘත්තීය අයිතීන් වෙනුවෙන් ක‍්‍රියාකිරීම පිළිගත් මූලික අයිතියක්වන අතර ඊට එරෙහි බාධා කරන්නන් සම්බන්ධයෙන් ඉදිරියේ දී අප සංගමය නීතිමය පියවර ගැනීමට ද කටයුතු කිරීමට සූදානමින් සිටිති.  එමෙන්ම විවිධ පාර්ශවයන්ගෙන් එල්ලවන බාධා කිරීම් හා බිය ගැන්වීම් නොසලකා වෘත්තීය ක‍්‍රියාමාර්ගය හා එක්වන මෙන් ද සංවර්ධන නිලධාරීන් වෙත දන්වා සිටී.

ඒ අනුව කප්පාදු කර ඇති සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්වන රාජකාරී වගකීම හා බැඳීම යළි සංවර්ධන නිලධාරීන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් මැයි 12 වැනි දා පස්වරු 12.00 ට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කරන බව මෙයින් දන්වා සිටිමු." යනුවෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad