'ලංකාව ජිනීවා යෝජනාව අනුව යනවාදැයි අපි විමසිල්ලෙන්' - සෙයිද් කුමරු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 9, 2016

'ලංකාව ජිනීවා යෝජනාව අනුව යනවාදැයි අපි විමසිල්ලෙන්' - සෙයිද් කුමරු

පසුගිය වසරේ සම්මත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ජිනීවා යෝජනාව, ශ්‍රී ලංකා රජය මගින් ක්‍රියාත්මක කරන ආකාරය දෙස තම කාර්යාලය සමීපව බලා සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු පැවසුවේ ය.

ඔහු මේ බව සඳහන් කළේ අද (09) පස්වරුවේ නිමා වූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. හැකි ඉක්මනින් ශ්‍රී ලංකාව යළි අන්තර්ජාතික ප්‍රජාව වෙත ළං කර ගැනීමට කැමැත්තෙන් සිටින බව පැවසූ සෙයිද් කුමරු ශ්‍රී ලංකාව ආර්ථික බලාගාරයක් බවට පත් කිරීමට ජාත්‍යන්තරයට අවශ්‍ය බවයි වැඩිදුරටත් කියා සිටියේ.

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් වෙත එල්ල වී ඇති චෝදනා මගින් මතු වී තිබෙන පළුදු නැති කර ගැනීමට දැන් හොඳ අවස්ථාවක් උදා වී ඇති බවත්, මේ අසීරු කාර්යයේ දී ශ්‍රී ලංකාව වෙත තම සේවය ලබා දීමට ඉදිරිපත් වෙන බවත් පැවසූ කොමසාරිස්වරයා, එහි අරමුණ සත්‍ය යුක්තිය ආරක්ෂාව හා සමෘද්ධිය බවද අවධාරණය කළේ ය.

එමෙන්ම මෙරට ජන ජීවිතය තුළ පැවති බිය උතුරෙනුත් දකුණෙනුත් මේ වන විට තුරන්වී ඇති බව ද, උතුරු නැගෙනහිර පළාත්වල ජන ජීවිතය ද සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බව ද ඔහු පැවසීය.
ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකාවේ නිදහසට හා ස්වාධිපත්‍යයට කිසි ලෙසකින්වත් බලපෑමක් එල්ල නොකරන බව සෙයිද් කුමරු අවධාරණය කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad