ජනපතිට අගමැතිට ඇති වගකීමක් කැෆේ මතක් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 2, 2015

ජනපතිට අගමැතිට ඇති වගකීමක් කැෆේ මතක් කරයි

මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණයේ දී දූෂිතයින්ට, අපරාධකරුවන්ට, ස්ත්‍රී දූෂිකයින්ට නාම යෝජනා ලබා දෙන්නේ නම් එහි සෘජු වගකීම ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් බාර ගත යුතු යැයි කැෆේ සංවිධානය අවධාරණය කරයි.    

ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවලින් දූෂිතයින් පාර්ලිමේන්තුවට පත් නොකරන බවට මෛත්‍රී - රනිල් දෙපළ පසුගිය මාස මාස 09 පුරා නැවත නැවත ප්‍රකාශ කළ බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් කීර්ති තෙන්නකෝන් මහතා මෙසේ ද සඳහන් කළේ ය. ඔවුන් අද මෙරට ප්‍රධාන පක්ෂ සන්ධාන දෙකේ නායකයින්. රටේ ජනපති හා අගමැති තමන්ගේ දේශපාලන සන්ධානයන් තුළ දූෂිතයින්ට, අපරාධකරුවන්ට, නාම යෝජනා ලබා නො‍දීමේ අවසන් වගකීම ඇත්තේ මෛත්‍රී- රනිල් යුවළ අතේයි. 

ඔවුන් දෙනෙනා විසින්ම වරින් වර නම් කළ,  ඔවුන්ගේ සටන් සගයින් සෘජුව හා වක්‍රව දූෂිතයින්, අපරාධකරුවන්, මංකොල්ලකරුවන් ලෙස හංවඩු ගැසූ පුද්ගලයින්ට නාම යෝජනා ලැබෙන්නේ නම් එහි වගකීම වෙනත් කිසිවෙකු නොව පුද්ගලිකව ම පක්ෂ නායකියන් දෙපළ විසින් බාරගත යුතුයි, යනුවෙන් ඔහු අවධාරණය කළේ ය.

පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ පෙනී සිටියේ අපරාධ, දූෂණ වංචා විරෝධී පෙරමුණේ සෙන්පතියන් ලෙසිනි. එහත් මේ වනවිට මේ පක්ෂ නායකයින් දෙදෙනා නියෝජනය කරන දේශපාලන පක්ෂ දෙකෙන්ම නාම යෝජනා ගන්නට පිරිස් එක් වී සිටී.

දේශපාලන ‍වේදිකාවේ ‍හොරුන්, අපරාධකරුවන්, ස්ත්‍රී දූෂකයින් ලෙස හංවඩු ගැසූ පුද්ගලයින් මේ වන විටත් දිනපතා නාම යෝජනා මණ්ඩල හමුවේ පෙනී සිටිති. ඉන් කිහිප දෙනෙකුටම නාම යෝජනා ලැබෙන බව සහතික කිරීමෙන් පසු ව දිස්ත්‍රික් මට්ටමින් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කර තිබේ.  

තමන් විසින් දූෂිතයින් ලෙස හැඳින් වූ පිරිසකට නාම යෝජනා නොලැබෙන බවට පක්ෂ නායකයින් සහතික විය යුතුයි. එසේ නොවන්නේ නම් මේ දූෂිතයින් පරාජය කිරීමට මේ රටේ ඡන්දදායකයින්, පුරවැසියන් කටයුතු කළ යුතුයි.  

" මේ වනවිට නාම යෝජනා සම්බන්ධයෙන් සිදුවන මූලික සාකච්ඡාවල දී විවිධ අපරාධවලට සමබන්ධ පුද්ගලයින්ට, දූෂණ චෝදනා සහිත පුද්ගලයින්ට නාම යෝජනා ලබාදීම සඳහා විවිධ උත්සහයන් පවතින බව පෙනෙන්ට ති‍බෙනවා. අගමැතිවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් මේ පුද්ගලයින්ට නාම යෝජනා නොලැබෙනවා නම්  මේ ප්‍රධාන ධාරවේ දේශපාලන පක්ෂවලට ඉතාම සුපිරිසිදු චරිත පාර්ලිමේන්තුවට ගෙන ඒමේ  ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්නට හැකියාව තිබෙනවා. 

අපි දැඩිව අවධාරණය කරනවා අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් මේ රටේ පසුගිය මාස 08 ක කාලය තුළ නැවත නැවත ප්‍රකාශයට පත් කළ ආකාරයට නව දේශපාලන සංස්කෘතියක් ඇති කරන්නට දූෂිතයින් වංචාකාරයින් අපරාධකරුවන් හිරගෙවල්වල හිටපු පුද්ගලයෝ ඇප ලබා‍ ඉන්න පුද්ගලයෝ රිමාන්ඩ් ගත වෙලා හිටපු පුද්ගලයෝ මුල්‍ය අපරාධවලට සෘජුව සම්බන්ධ වෙලා චෝදනා ලැබූවන්ට නාම යෝජනා නොලැබෙන බව. 

පිරිසිදු අපේක්ෂකයින්ට පමණක් නාම යෝජනා ලබා දෙන බව.  දූෂණ, අපරාධ, මුල්‍ය අපරාධ සිදු කළ පුද්ගලයින්ට මේ ප්‍රධාන දේශපාලන පක්ෂදෙකෙන් නාම යෝජනා ලැබෙනවා නම් එහි වගකීම මෛත්‍රීපාල සිරිසේන මහතාත්, රනිල් වික්‍රමසිංහ මහතාත් පුද්ගලික ව දැරිය යුතුයි.  එයින් පැන යන්නට ජනපතිටත් අගමැතිටත් හැකියාවක් නෑ. 

යම් විදිහකින් මේ නායකයින් ඔවුන්ගේ පොරොන්දු කඩකරමින් මේ දූෂිතයින්ට නාම යෝජනා ලබාදුන්නොත් ඔවුන් පරාජය කිරීම මේ රටේ සෑම ඡන්දදායකයෙකුගේම වගකීමක් වෙනවා " වැඩිදුර අදහස් දක්වන කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad