ජිනීවා යෝජනාවට ජවිපෙ සම්බන්ධ වෙලා නෑ - ටිල්වින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 22, 2020

ජිනීවා යෝජනාවට ජවිපෙ සම්බන්ධ වෙලා නෑ - ටිල්වින්

ජිනීවා යෝජනාවට ජවිපෙ සම්බන්ධ වෙලා නෑ - ටිල්වින්

2015 පැවති ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිසමට ඇමෙරිකා එක්සත් ජනපදයත් සමඟ සම අනුග‍්‍රහයෙන් ඉදිරිපත් කළ යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණ සහයෝගය ලබා දුන් බවට වන ප්‍රචාරය අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

"2015 පැවති ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිසමට ඇමෙරිකා එක්සත් ජනපදයත් එක්ක සම අනුග‍්‍රහයෙන් ඉදිරිපත් කළ යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණත් සහයෝගය දක්වන ලද බවට අමූලික බොරුවක් ප‍්‍රචාරය කර තිබුණා. මෙම අසත්‍ය ප‍්‍රකාශය අපි තරයේ ප‍්‍රතික්ෂේප කරන අතර, මෙබඳු බොරු නිර්මාණය කර ප‍්‍රචාරය කිරීම පිළිබඳ දැඩි විරෝධය පළ කරනවා.  වර්තමාන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ආමෙරිකාවට ඇතුල්වීම තහනම් කිරීම පදනම් කරගෙන ඒ තත්වය මතු වුණේ 2015 මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ යෝජනාව නිසා බවත් ඊට එක්සත් ජාතික පක්ෂය සමග ජනතා විමුක්ති පෙරමුණත්, ද්‍රවිඩ ජාතික සන්ධානයත් සහයෝගය දුන් බවටත්, වගකිම් විරහිත ප‍්‍රකාශ කර තිබෙනවා. අනික් අය සම්බන්ධයෙන් අපිට වගකීමක් දරන්න බැහැ. ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව ඔහු ඒ ඉදිරිපත් කර තිබෙන අදහස් සියල්ලම සාවද්‍ය තොරතුරු.  එනිසා අපේ විරෝධය පළ කරන ගමන්, මේ වගකිම් විරහිත ප‍්‍රකාශය හෙළා දකිනවා.  අවුරුදු 5කට කළින් ඉතිහාසය මහින්ද රාජපක්ෂ මහත්තයාට අමතක වෙලා නැතිව ඇති කියලා අපි හිතනවා. මතක තියෙද්දී තක්කඩිකමක් කරනවා කියලයි අපි හිතන්නේ. 2015 සැප්තැම්බර් මාසයේ මානව හිමිකම් කොමිසම ජිනීවාවල රැස්වුණු වෙලාවේ ඇමෙරිකා එක්සත් ජනපදය තමන්ගේ යෝජනාවක් ලංකාවේ එවකට තිබුණු හවුල් ආණ්ඩුවේ සම දායකත්වයෙන් ඉදිරිපත් කළා. ජනතා විමුක්ති පෙරමුණ ඒ ආණ්ඩුවේ කොටස් කාරයෙක් නොවෙයි. අනෙක් පැත්තෙන් ඒ සම දායකත්වය දක්වන්න ආණ්ඩුව ඉදිරිපත් වීම ගැන අපේ විරෝධය පළ කළා. ඒ සම්බන්ධයෙන් පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවලදී අපි දැක්වූ අදහස් ඔබේ මාධ්‍ය ආයතනවල සුරක්ෂිතව ඇති කියලා හිතනවා. මුලින්ම 2015 සැප්තැම්බර් 22 මේ සම්බන්ධයෙන් පළවැනි මාධ්‍ය හමුව පවත්වමින් ආණ්ඩුව ගන්නා මෙම කි‍්‍රයාමාර්ගයේ බරපතළ වැරැද්ද පිළිබඳව පැහැදිලි කළා."

"අනාගතයේ බරපතළ අනතුරු ගණනාවක් ඒ නිසා නිර්මාණය කෙරෙන බව රටට කිව්වා. ඊට පස්සේ 2015 ඔක්තෝබර් මාසයේ 04 වැනිදා දෙවැනි මාධ්‍ය හමුවක් පවත්වමින් මේ තත්වය නැවත අවධාරණය කළා. ඊටත් අමතරව මේ කරුණු පිළිබඳව දීර්ඝ ලෙස පැහැදිලි කරමින් 2015 ඔක්තෝබර් 13 වැනිදා කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේදී ”ජිනීවා ඊයේ අද සහ හෙට” කියලත් දේශනයක් පැවැත්වූවා.  ඊට අමතරව පාර්ලිමේන්තුවෙත් කතා කරලා තියෙනවා. මේ සියලූ අවස්ථාවලදී ඉතා පුළුල් ලෙස අපේ ස්ථාවරය පැහැදිලි කරමින් රට හමුවේ කරුණු හෙළිකළා. මේ වෙලාවේ අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා වගකීම් විරහිතව එවකට පැවති ආණ්ඩුව සම දායකත්වයෙන් ඉදිරිපත් කළ ජිනීවා යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණ සහිත ආණ්ඩුවක් ලෙස නම් කර, ඒ යොජනාව අනුමත කළා කීම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ තනතුරට, වයසට අනුව කටයුතු කිරීම ගැන නැවත හෙළා දකිනවා. යුද්ධය අවසන් වන විට තිබුණු මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවටත් ඊට පස්සේ බලයට පත්වුණු හවුල් ආණ්ඩුවටත් අපේ ස්ථාවරය පැහැදිලි කරමින් බලකර සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ලංකාවට විරුද්ධව නිර්මාණය කෙරෙන අහිතකර යෝජනාවලින් ගැලවීමේ මාර්ග ගැනයි. ලංකාව තුළ මානව හිමිකම් රැකීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම, වගේම යුද්ධයෙන් පීඩාවට පත්වුණු අයට ඇහුම්කන් දීලා, ඔවුන්ට සහන දීලා, යුද්ධයෙන් සිදුවුණු තුවාල සුවපත්කරන්න වහාම කි‍්‍රයාත්මක විය යුතු බවයි. මානව හිමිකම් කඩවීම් ගැන චෝදනා තිබෙනවා නම්, ලංකාව තුළ පරීක්ෂණ පවත්වලා ලංකාවේ නීතියට අනුව කටයුතු කරනවා මිස, අපේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට විදේශ බලවේගයන්ගේ මැදිහත්වීම වළක්වන ලෙසයි, අපි ආණ්ඩුවට බල කළේ. ඒ නිසා ඔය කිසිම ගිවිසුමකට, යෝජනාවකට අත්සන් කරන්න අපි සම්බන්ධ වෙලා නැහැ." යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

No comments:

Post a Comment

Post Bottom Ad