ජනතා කේන්ද්‍රීය ආර්ථිකයෙන් දිළිදුකම තුරන් කරනවා - ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 21, 2020

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයෙන් දිළිදුකම තුරන් කරනවා - ජනපති

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයෙන් දිළිදුකම තුරන් කරනවා - ජනපති

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කොට දිළිඳු බව තුරන් කිරීම සිය අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (20) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ 22 වන ජාතික මහා සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය. “සමෘද්ධි, කෘෂි අයිතීන් තහවුරු වන පොදු ජන යුගයක්” මැයෙන් එය සංවිධාන කර තිබිණ.

සමෘද්ධි සහ කෘෂි නිලධාරීන් 176 දෙනෙකුට මෙහිදී ස්ථීර පත්වීම් ප්‍රදානය කරනු ලැබීය. පසුගිය වසර පහේදී ස්ථීර පත්වීම් නොලද සමෘද්ධි නවක පත්වීම්ලාභීන් ස්ථීර කිරීමේ වැඩපිළිවෙළ යටතේ පත්විම් ප්‍රදානය කෙරිණ.

සමාජයේ සෑම ස්ථරයකටම අයත් ජනතාවට ජීවත්විය හැකි අයුරින් ආදායම් මට්ටම නැංවීම රජයේ අරමුණයි. එහි එක් පියවරක් ලෙස අඩු අදායම්ලාභී පවුල්වල සාමාජිකයන් ලක්ෂයකට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන සැලසුම් කර තිබේ. පිරිස තෝරාගැනීමේ දී සමෘද්ධි සහ කෘෂි පර්යේෂණ නිලධාරින්ගේ සහය අවශ්‍ය බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

“අපේ රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ලක්ෂ 15ක්. ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද සඳහා වැය කරන්නේ මහජන මුදල්. විධිමත් අයුරින් රාජ්‍ය ආදායම මහා භාණ්ඩාගාරයට ලැබෙන්නේනම් සියලු අංශවල වරප්‍රසාද සහ අයිතීන් සහතික කරන්න පුළුවන්.

රජයක් ලෙස සියලු රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් දීනා දීමට සූදානම්. රාජ්‍ය සේවකයන් සිය වගකීම රට වෙනුවෙන් ඉටු කළ යුතුයි”. ජනාධිපතිවරයා පැවසීය.

ජන ජීවිතය පහසුකිරීමේ ප්‍රයත්නයට හවුල්වීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමකි. සිය දැනුම ඝෘජුවම රාජ්‍ය පාලනයට සම්බන්ධ කර ගනිමින් ජනතාවගේ ජීවන තත්ත්වය සහ රටේ ආර්ථිකය දියුණු කළ හැකි ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

“කෘෂි ක්ෂේත්‍රයේ දෙවන පරපුරක් බිහි නොවීම ගැටලුවක්. යටිතල පහසුකම් සංවර්ධනය නොවීම සහ නිසි වෙළෙඳ ‍පොළක් නොතිබීම, වෙ‍ළෙඳපොළ ඒකාධිකාරිය හා පවතින පහසුකම් නිසි අයුරින් කළමනාකරණය නොවීම ඊට බලපා තිබෙනවා. ක්ෂේත්‍රයේ ගැටලුවලට විසදුම් දෙමින් කෘෂිකර්මාන්තය නගා සිටුවීම කඩිනම් කළ යුතුයි” ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad