මල්ලී බොහොම අහිංසක චරිතයක් එයාගේ දුවට මාස දෙකයි - කාවිංගගේ රථයේ වැදී ‘මල්ලී මැරෙන හැටි දෑසින් දුටු අයියා කියන කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 21, 2020

මල්ලී බොහොම අහිංසක චරිතයක් එයාගේ දුවට මාස දෙකයි - කාවිංගගේ රථයේ වැදී ‘මල්ලී මැරෙන හැටි දෑසින් දුටු අයියා කියන කතාව

එකපාරටම මල්ලී මෝටර් රථයේ වැදුණු සද්දෙ ඇසුණා. ඒ සමඟම මම මල්ලී ළඟට දුවගෙන ගියා.
මෝටර් රථය පලා ගියා
මල්ලී බොහොම අහිංසක චරිතයක් එයාගේ දුවට මාස දෙකයි වයස

තලවතුගොඩ ප්‍රදේශයේදී ඉකුත් 18 වැනි දින රාත්‍රි ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරාගේ මෝටර් රථයේ ගැටීමෙන් මාර්ග සංවර්ධන නඩත්තු සේවකයකු මරණයට පත්ව ඇත.

මෙසේ මරණයට පත්වූ වූයේ මීගහතැන්න, වෙලපහළ, මාවතවත්ත ප්‍රදේ්ශයේ පදිංචි ගම්මන ලියනගේ වසන්ත උදය කුමාර නමැති හතළිස් දෙහැවිරිදි එක් දරු පියෙකි.

තලවතුගොඩ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පදික මාරුවේ නඩත්තු කටයුතු සිදු කරමින් සිටියදී රාත්‍රි 12.40ට පමණ වේගයෙන් පැමිණ ඇති මෝටර් රථය අනතුර සිදුකර පලා ගොස් ඇති බවත්, එම ස්ථානයේ සිටි පිරිසක් මෝටර් රථය පසුපස කිලෝමීටර් භාගයක් පමණ දුර හඹාගොස් රංගන ශිල්පියා අල්ලා ගෙන ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. අනතුරට ලක් වී බරපතළ තුවාල ලැබූ වසන්ත උදය කුමාර රෝහලට ඇතුළත් කරනා විටද මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධියෙන් මරණයට පත්වූ අයට මාස දෙකක් වයසැති දියණියක සිටින අතර සිද්ධිය වූ ස්ථානයේ සිටි මියගිය අයගේ වැඩිමහල් සොයුරු වන ගම්මන ලියනගේ නිලන්ත මහතා මෙසේ පැවසීය.

“මියගොස් සිටින මගේ මල්ලී සහ මම ජී.එන්.එල්. සුපර්ලේයර් කියන පෞද්ගලික ආයතනයට අනුයුක්තව මාර්ග සංවර්ධනයේ වැඩ කළේ. ඒ වෙලාවෙ අපි ෂෙඩ් එක ඉස්සරහ පදික මාරුවේ තීන්ත ආලේප කරමින් සිටියේ. අපි හත්දෙනෙක් පමණ එම ස්ථානයේ නඩත්තු කටයුතු කරමින් සිටියා. 

මම පදික මාරුව ලකුණු කර දී මඳක් ඉදිරියට ගිහින් අනිත් වැඩ කටයුතු සොයා බලද්දී එකපාරටම මල්ලී මෝටර් රථයේ වැදුණු සද්දෙ ඇසුණා. ඒ සමඟම මම මල්ලී ළඟට දුවගෙන ගියා. එවිටම මෝටර් රථය පලා ගියා. එතැන සිටි පිරිසක් මෝටර් රථය පසුපස හඹා ගොස් අල්ලා ගෙන තිබෙනවා. අනතුරේදී මෝටර් රථයේ යම් ආබාධයක් සිදුවී ඇති බැවින් වේගෙන් යන්න බැරිවෙලා තියෙන බවත් එසේ නොවන්නට මෝටර් රථය පලායන බවත් දැනගන්න ලැබුණා. පසුව දැන ගත්තේ අනතුර සිදු කළ අය රංගන ශිල්පියෙක් කියලා. ඔහු බීමත්ව සිටි බව වෛද්‍ය පරීක්ෂණවලදී සනාථ වූ බව ද දැනගන්නට ලැබුණා.

මල්ලී බොහොම අහිංසක චරිතයක් එයාගේ දුවට මාස දෙකයි වයස. ලොකු අපරාධයක් වුණේ. බීමත්ව මෙවන් අනතුරු කරන සෑම කෙනකුටම තරාතිරම නොබලා උපරිම දඬුවම් දිය යුතුයි”

මියගිය අයගේ සොයුරිය වන ගම්මන ලියනගේ චන්ද්‍රලතා මහත්මිය මෙසේ පැවසුවාය.

“අනේ මගේ මල්ලී හරිම අහිංසකයෙක් බව ගමේ හැමෝම දන්නවා. මේ දුක අපේ පවුලේ අයට වාවගන්න බෑ. මේ අවාසනාවන්ත අනතුරු නිසා මාස දෙකක දුවත්, මල්ලිගෙ නෝනාත් ඉතා අසරණ තත්ත්වයට පත්වෙලා. මල්ලී ජීවත් වෙන්න ලොකු සටනක් කරගෙන ගිය කෙනෙක්. රැයක් දවාලක් නොබලා රස්සාව කළේ දරු පවුල රැකගන්න සැලකිය යුතු ආදායම් මාර්ගයක් නොමැති නිසා.

අපිට දැනගන්න ලැබුණා අනතුරට සම්බන්ධ රංගන ශිල්පියා ඒ අවස්ථාවේ බීමතින් සිටි බව. බීමත්කම නිසා මේ රටේ සිදුවන අනතුරුවලින් පවුල් කීයක් අනාථ වෙනවාද. දැන් අපිට මල්ලිී අහිමිවෙලා ඉවරයි. ඒත් මේ දේ තවත් කෙනකුට නොවන්නට උපරිමයෙන් නීති ක්‍රියාත්මක කළ යුතු යැයි අපි ඉල්ලා සිටිනවා.”

මිය ගිය අයගේ බිරිය තම සැමියා අහිමි වූ කම්පනය නිසා කිසිවක් ප්‍රකාශ කරගත නොහැකිව සිටියාය.

අනතුරින් මියගිය අය නිරතුරුවම අසල්වාසීන් සහ ප්‍රදේශවාසීන්ද සමඟ ඉතා සුහදව කටයුතු කළ, කිසි කෙනකුට වරදක් නොකරන අයකු බව ප්‍රදේ්ශවාසීහු බොහෝ දෙනෙක් පවසා සිටියහ.

අනතුරට සම්බන්ධ රංගන ශිල්පියා උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර කර ඇති අතර තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කුමාර ගම්මැද්ද

No comments:

Post a Comment

Post Bottom Ad