ජාතික ගීයේ දෙමළ පරිවර්තනය ව්‍යවස්ථානුකූලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 1, 2020

ජාතික ගීයේ දෙමළ පරිවර්තනය ව්‍යවස්ථානුකූලයි

ජාතික ගීයේ දෙමළ පරිවර්තනය ව්‍යවස්ථානුකූලයි

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට තමා කළ වරද කුමක්දැයි රාජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගෙන් විමසන්නේ යැයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පුවත්පතකට පවසා ඇත.

රාජ්‍ය ඇමැතිවරයා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තමා අත්අඩංගුවට ගත යුතු බව පවසා ඇතත් ඊට හේතුව පැහැදිලි නැති බැවින් මෙසේ විමසන්නේ යැයි සුමන්තිරන් මහතා කීය.

ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට ආණ්ඩුව ඉඩක් නොදෙන්නේ නම් එය ගායනා කිරීමට දෙමළ ජනතාවට අවශ්‍යම නැතැයි තමා ප්‍රකාශ කළේ යැයි කී හෙතෙම එම අදහසෙහි වෙනසක් නැතැයි ද අවධාරණය කර කීය.

මීළඟ නිදහස් දින උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කරන බව ස්වදේශ කටයුතු ඇමැතිවරයා හැටියට ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ජනමාධ්‍යට ප්‍රකාශ කර තිබුණේ යැයි ද දෙමළ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරයකු හැටියට තමා පිළිතුරු දුන්නේ ඊට යැයි ද සුමන්තිරන් මහතා කීවේය.

එවැනි තීරණයක් ආණ්ඩුව ගෙන නැති බවට රෝහිත අබේගුණවර්ධන රාජ්‍ය ඇමැතිවරයා මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කළ ද ස්වදේශ කටයුතු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විෂය භාර ඇමැතිවරයා හැටියට මේ වනතුරු කිසිවක් පවසා නැතැයි ද මන්ත්‍රීවරයා පැවැසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව භාෂා දෙකෙන්ම පවතින්නේ යැයි ද දෙමළ බසින් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ජාතික ගීය ‘ශ්‍රී ලංකා තායේ’ ආදී වශයෙන් දෙමළ පරිවර්තනයක් ඇතැයි ද සුමන්තිරන් මහතා කීය.

ජාතික ගීය සිංහල බසින් පමණක් පැවැතිය යුතු නම් එසේ දෙමළ පරිවර්තනයක් සකස් කර ඊට පාර්ලිමේන්තු අනුමැතියක් ගත්තේ ඇයිදැයි ප්‍රශ්න කළ හෙතෙම ස්වදේශ කටයුතු ඇමැතිවරයා රටේ මූලික නීතිය නොදන්නේ යැයි චෝදනා කළේය.

නීති අණ පනත් සම්පාදනයේදී ප්‍රශ්නකාරී අවස්ථාවක වලංගු වන්නේ කවර භාෂාවදැයි සඳහනක් කළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි එවැනි සඳහනක් නැතැයි ද එනිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි දෙමළ පරිවර්තනයත් එක සේ වලංගු යැයි ද සුමන්තිරන් මහතා සඳහන් කළේය.  

දෙමළ ජනතාවට ජාතික හැඟීමක් ඇතිවන්නේ සිය මව් බසින් එය ගායනා කරන විටදී යැයි ද ආණ්ඩුව ඊට අකැමැති නම් ජාතික ගීයක් ගායනා කිරීමට දෙමළ ජනතාවට ඕනෑම නැතැයි ද ඒ මහතා කීය.

දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට දේශපාලන විසඳුමක් නොදී තවමත් ඔවුන්ට සලකන්නේ වෙනස් කොට යැයි ද සිංහල බසින් පමණක් ජාතික ගීය ගායනා කිරීමට උත්සාහ කිරීම එහි තවත් රෝග ලක්ෂණයක් යැයි ද සුමන්තිරන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad