gurukanda - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 3, 2019

gurukanda

මුලතිව් නායරු ගුරුකන්ද විහාරස්ථානයේ ධාතු මන්දිරයට බුදුපිළිමයක් රැගෙන ඒමත් සමඟම දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් ඊට දැඩි විරෝධය එල්ල වී තිබේ. උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි ටී. රවිහරන් මහතා කියා සිටින්නේ මේ විහාරස්ථානය සම්බන්ධයෙන් නඩු කිහිපයක්ම ඇති අවස්ථාවක විහාරස්ථානයට නව අංග එකතු කිරීම නීතියට පටහැනි බවයි.

මේ විහාරස්ථානයට ආසන්නයේ පිහිටි නීරාවිඅඩි පිල්ලයාර් කෝවිලේ සංවර්ධන කටයුතු සිදුකිරීමට ගිය අවස්ථාවේදී ඊට විහාරස්ථානයෙන් හා මුලතිව් පොලිසියෙන් බාධා එල්ල කළේද මේ නීතිමය පදනම නිසා බව පවසන රවිහරන් මන්ත්‍රිවරයා ඒ තත්ත්වය ගුරුකන්ද විහාරස්ථානයට අදාළ නොවන්නේ කෙසේදැයි ප්‍රශ්න කොට සිටියි.

මුලතිව් ගුරුකන්ද විහාරස්ථානයට අයිතිවාසිකම් නොමැති බව කියන රවිහරන් හිටපු මන්ත්‍රිවරයා පවසන්නේ එහි අයිතිය ඇත්තේ නීරාවිඅඩි පිල්ලයාර් කෝවිලට බවයි.

මෙහි අයිතිය පිළිබඳව නිගමනයක් හා තීන්දුවක් ලබාදෙන ලෙස අභියාචනාධිකරණයට ගොනුකරන ලද පෙත්සම් විභාගය ආරම්භ වී ඇති බවත් එහි තීන්දුවක් ලබාදීම පෙබරවාරි මාසයේදී සිදුවන බවත් ඔහු පැවැසීය.

මේ තීන්දුව ලැබෙන තුරු ගුරුකන්ද විහාරස්ථානය තුළ හෝ ඒ භූමිය තුළ කිසිදු සංවර්ධන කටයුත්තක් කිරීම නීති විරෝධී බවද රවිහරන් මහතා කියා සිටී.

නමුත් ඔහුගේ මේ විරෝධය නොතකා මුලතිව් ගුරුකන්ද රජමහ විහාරස්ථානයේ ධාතු මන්දිරය තුළ බුදු පිළිමය තැන්පත් කොට ආගමික වතාවත්ද පවත්වා ඇත.

 රසාදි චතුරංගි ගමගේ


No comments:

Post a Comment

Post Bottom Ad