අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ වෙනස්කම් රැසක් - ප්‍රතිඵල ආ සැණින් උසස් පෙළ සමතුන් සරසවි වලට ඇතුළත් කරගන්නත් ගෝඨාගෙන් උපදෙස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 6, 2019

අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ වෙනස්කම් රැසක් - ප්‍රතිඵල ආ සැණින් උසස් පෙළ සමතුන් සරසවි වලට ඇතුළත් කරගන්නත් ගෝඨාගෙන් උපදෙස්

සුගිය වසරේ උසස්පෙළ විභාගය සමත් වූ සිසුන් හැකි ඉක්මණින් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.

එමෙන්ම මෙම වසරේ උසස් පෙළ විභාග ප‍්‍රථිඵල නිකුත්වී කෙටිකාලයක් ඇතුළතදී එම සිසුන්ද විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමට කටයුතු කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

උස්ස පෙළ විභාගය සමත්වන සෑම දරුවකුම විශ්ව විද්‍යාල වරම් හිමිකර ගැනීමට හැකි සෑම අවස්ථාවක්ම ලබාදිය යුතු බව කී ජනාධිපතිවරයා කෙටිකාලීන වශයෙන් රටට අවශ්‍ය ශ‍්‍රම බලකාය බිහිකර ගැනීමට විශ්ව විද්‍යාල පද්ධතිය තුළම ඩිප්ලෝමා පාඨමාලා ඇති කළ යුතු බවද සඳහන් කළේය.

තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ප‍්‍රමුඛත්වයක් ලබාදුන් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ උන්නතිය සඳහා වූ ක‍්‍රියාමාර්ග කඩිනම් කළ යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා තාක්‍ෂණය මූලික කරගත් ලෝක ආර්ථිකය සඳහා නිපුණතා සහිත දරු පරපුරක් ලොවට දායාද කළ හැකි අධ්‍යාපන ක‍්‍රමවේදයකට කඩිනමින් ගමන් කළ යුතු බවද පෙන්වා දුන්නේය.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිවරුන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (5) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක‍්‍රමවේදයෙන් මිදීය යුතු බව පෙන්වාදුන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා  රටේ අවශ්‍යතාවයට මෙන්ම අන්තර් ජාතික මට්ටමේ විෂය නිර්දේශ හා විෂය මාලාවන් සැකසී ඇති ආකාරය පිළිබඳව එහිදී දැඩිව අවධානය යොමු කළයුතු බවද කීය.

එහිදී රටේ අවශ්‍යතාවය සොයා බලා පාඨමාලා සකස් කිරීමේ අවස්ථාව විශ්වවිද්‍යාල වෙත ලබාදීම කාලය එළැඹ තිබෙන බව කී ජනාධිපතිවරයා ඒ සඳහා විශ්ව විද්‍යාල දිරිමත් කළ යුතු බවත් බොරු න්‍යායන්ගෙන් ඉවත්ව අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය නගා සිටුවිය යුතු බවද සඳහන් කළේය.

එමෙන්ම රැකියා වෙළඳපෙළ ඉලක්ක කරගනිමින් ගුරු විද්‍යාපීඨ, හෝටල් පාසල් ආරම්භ කිරීමට ක‍්‍රියා කළ යුතු බව කී ජනාධිපතිවරයා ගාල්ල, මාතර, හම්බන්තොට මෙන්ම සෑම දිස්ත‍්‍රික්කයක්ම ආවරණය වන පරිදි විශ්ව විද්‍යාල ආරම්භ කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

උස්ස අධ්‍යාපනය සදහා විදේශගතවන දරුවන්ට අධ්‍යාපන කටයුතු තම රට තුළම කරගෙන යෑමට අවස්ථාව සළසා දිය යුතු බව කී ජනාධිපතිවරයා විද්‍යා හා ගණිත අංශයන්ගෙන් වැඩි දරු පිරිසක් රටට දායාද කළ යුතු බවත් කලා අංශයෙන් අධ්‍යාපනය ලබන සිසුන් කෙටිකලකින් තොරතුරු තාක්‍ෂණ දැනුම සමඟ මුසුකර ආර්ථික ක‍්‍රියාවලියට එක්කර ගැනීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්හ.

එමෙන්ම මඩකළපුව විශ්ව විද්‍යාලය විනාශ වී යාමට ඉඩනොදී හැකි ඉක්මනින් ජාතික විශ්ව විද්‍යාල පද්ධතියට එකතු කර ජාතික සම්පතක් ලෙස ප‍්‍රයෝජනයට ගතයුතු බව කී ජනාධිපතිවරයා ගුරු හිඟය පියවීමටත් වසරක් ඇතුළතදී අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් සැකසිය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කළේය


No comments:

Post a Comment

Post Bottom Ad