වත්කම් බැරකම් ප්‍රකාශ නොදුන් ඇමති පාර්ශවය දාන නීති තර්ක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 11, 2019

වත්කම් බැරකම් ප්‍රකාශ නොදුන් ඇමති පාර්ශවය දාන නීති තර්ක

මෙතෙක් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ කැබිනට් ඇමැතිවරුන් අට දෙනකුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඊයේ (10) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

නවීන් දිසානායක, හරින් ප්‍රනාන්දු, මනෝ ගනේෂන්, එම්.එච්.ඒ හලීම්, අකිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක, ගයන්ත කරුණාතිලක සහ සජිත් ප්‍රේමදාස යන ඇමැතිවරුන් අට දෙනා වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ කැබිනට් ඇමැතිවරුන් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා ප්‍රකාශ කරයි.

ඔවුන් 2018/19 වර්ෂයට අදාළව සිය වත්කම් බැරකම් ප්‍රකාශ මෙතෙක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලබා දී නැතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් අනාවරණය කරගෙන ඇත.

සියලුම කැබිනට් ඇමැතිවරුන් ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලබා දිය යුතු වේ. එහෙත් ජනාධිපති ලේකම් කාර්යාලය දන්වා ඇත්තේ 2019 අගෝස්තු 20 වැනිදා වන විටද ඉහත කැබිනට් ඇමැතිවරුන් අට දෙනා තම වත්කම් ප්‍රකාශන ඉදිරිපත් කර නැති බවයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු ඉල්ලූම්පත‍්‍රයක් ඉදිරිපත් කරමින් වර්ථමාන 2019 වර්ෂයට අදාලව වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇති අමාත්‍යවරුන්ගේ නාමලේඛනයක් ඉල්ලා ඇත.

ඒ අනුව 2019 අගෝස්තු 28 වන දින ලැබුන තොරතුරු අනුව අමාත්‍යවරුන් 8දෙනෙකු වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නොමැත.

නීති තත්වය
මුල් වත්කම් බැරකම් ප්‍රකාශය

වත්කම් බැරකම් ප්‍රකාශන පනතේ 3 (2) වගන්තිය අනුව අමාත්‍යධුරයට පත් වූ අයෙක් පත්වූ  දිනයේ පවතින වත්කම් හා බැරකම් පිලිබද ප්‍රකාශයක් එම තනතුරට පත්වීමෙන් මාස 3ක් තුල භාරදිය යුතුය පනතේ 4 (අ) ii වගන්තියට අනුව අමාත්‍යවරුවන් වත්කම් බැරකම් ප්‍රකාශ භාරදිය යුත්තේ ජනාධිපතිවරයාටය.

වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශ

ඉන් පසුව වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශ භාරදීම පිලිබදව ප්‍රතිපාදන ඇතුලත් වන්නේ 1988 අංක 74 දරණ සංශෝධනය මගින් සංශෝධිත 1975 අංක 1 දරණ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ පනතේ 3(3) වගන්තියේය.

චූදිත මතේ 

මේ අතර, මෙසේ වත්කම් බැරකම් ප්‍රකාශ සිදු නොකළ අමාත්‍යවරුන්ගේ පාර්ශවයේ මතය වී ඇත්තේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන්නේ 2018 දෙසැම්බර් මාසයේදී බවත්, ඒ අනුව වත්මන් කැබිනට් අමාත්‍යවරුන් අමාත්‍යවරුන් ලෙස මාස 3ක් ඇතුලත ජනාධිපතිවරයා වෙත වත්කම් බැරකම් ප්‍රකාශ භාරදිය යුතු බවයි.

එබැවින් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් පසු වත්කම් බැරකම් ප්‍රකාශයන් භාර දී තිබේනම් 2019 වර්ෂයට අදාලව නැවත වරක් වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොවන බව ඔවුන්ගේ මතය වී තිබේ.

ඒ, මාර්තු මස 31 වැනිදාට පෙර මාස 6ක කාලයක් ඇතුලත එක් වත්කම් ප්‍රකාශයක් ලබාදී තිබේ නම් එම වර්ෂයට නැවත වත්කම් බැරකම් ප්‍රකාශයක් ලබාදිය යුතු නොවන නිසා යැයි එම පාර්ශවය අවධාරණය කරයි.

කෙසේවුවද, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ඉල්ලා ඇත්තේ 2018/2019 වර්ෂයට අදාල වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම්ය.



ඇමති හලීම්ගේ තත්ත්වය තවත් වෙනස්

එසේම හලීම් අමාත්‍යවරයා අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරයෙන් පසුව ජූනි මස 30 වනදාට පෙර අමාත්‍යධූරයෙන් ඉවත් වී ඇති බැවින් ඔහු සම්බන්ධ නීතිමය තත්වය වඩාත් වෙනස් බැවද පැවසේ.

එම නිසා මෙම අමාත්‍යවරුන් 2018 දෙසැම්බර් මාසයේදී අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව වත්කම් බැකම් ප්‍රකාශය 2019 මාර්තු 31 වන දිනට පෙර මාස 6ක කාලසීමාවක් තුල වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී තිබේනම් නැවත 2019 ජූනි මස 30 වැනිදාට පෙර වත්කම් බැරකම් ප්‍රකාශයක් භාරදීමේ නීතිමය වගකීමක් නොමැති බවද අදාළ පාර්ශව පෙන්වා දෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad