අපි පොලිසියෙන් කියා පෙම්වතුන්ගේ දේපළ කොල්ලකන කණ්ඩායමක් දඹුල්ලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 2, 2018

අපි පොලිසියෙන් කියා පෙම්වතුන්ගේ දේපළ කොල්ලකන කණ්ඩායමක් දඹුල්ලේ

දඹුල්ල විහාරය ආශ්‍රිත පෙම්සුව විදීම සඳහා පැමිණෙන ජෝඩුවලින් තමන් රහස් පොලිසියෙන් බව පවසා රන් මාල හා මුදල් කොල්ලකන කණ්ඩායමක ප්‍රධාන සැකකරු ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පේරාදෙණිය ඊරිගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.

මෙසේ ප්‍රදේශයේ පදිංචි

පාසල් සිසුවියක් ඇයගේ පෙම්වතා සමඟ දඹුල්ල රාජමහා විහාරයට ආසන්නයේ පිහිටි දඹුලු ලෙන ආසන්නයේ සිටියදී එක්වරම මෙම සැකකරු පැමිණ තමන් රහස් පොලිසියේ බව පවසමින් එහි සිටි පෙම්වතා සහ පෙම්වතිය බියගන්වා තරුණියගේ ගෙල බැඳි රන් මාලය කඩාගෙන දිව යද්දී අවට සිටි අයගේ සහයෝගයෙන් සැකකරු දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේදී අල්ලා ගෙන පොලිසියට භාරදී තිබේ.

දඹුල්ල රාජමහා විහාරස්ථානයට ආසන්නයේ ඒ අයුරින් සිටින බොහෝ දෙනාගේ මුදල් පසුබිම් සහ විවිධ වටිනා දෑ එසේ සොරාගත් අවස්ථා රැසක් පිළිබඳ පසුගියදා වාර්තා වී තිබිණි.දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක  සම්පත් වික්‍රමරත්න මහතා කියා සිටියේ පෙම් සුව විදීම සඳහා මෙම ප්‍රදේශයට පැමිණෙන තරුණ තරුණියන් වඩාත් විමසිලිමත් විය යුතු බවත් කිසිවකුත් නොමැති ප්‍රදේශවලට නොගොස් එළිමහන්නේ සිටිය යුතු බවත්ය.

එමෙන්ම පාසල් හා උපකාරක පන්ති යන බව පවසා ඉතා දුර බැහැර ප්‍රදේශවලින් පවා පිරිස් පැමිණෙන බවත් ඒ පිළිබඳ මවුපියගේ අවධානය යොමුවිය යුතු බවත්ය. මේ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙන බවත් සඳහන් කළ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබූ රුපියල් 40,000ක් වටිනා රන් මාලය සොයාගත් බවද තවදුරටත් විමර්ශනය කොට ප්‍රදේශයේ මෙවැනි සිදුවීම්වලට සම්බන්ධතාවක් ඇත්දැයි සොයාබලන බවය. එසේම සැකකරු ඊයේ (01දා) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

-කේ.කේ.ආරියදාස-

No comments:

Post a Comment

Post Bottom Ad