නිළියක් වෙනවා කියන්නේ නරක දෙයක් කියලයි ගෙදරින් හිතුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 18, 2018

නිළියක් වෙනවා කියන්නේ නරක දෙයක් කියලයි ගෙදරින් හිතුවේ

කෝමාලි කිං'' කියන්නේ මේ දිනවල අතිශය සාර්ථකව තිරගත වෙන චිත්‍රපටයක්. ලාංකේය සිනමාවේ දෙමළ සිනමා සංස්කෘතියේ හැරවුම් ලක්ෂ්‍යය විදිහටත් මේ චිත්‍රපටය බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙලා තියෙනවා. ඒ වගේම සම්මානනීය සිනමා නිළි නිරංජනී ෂම්මුගරාජා මෙහිදී රඟදක්වන චරිතයට දමිළ වගේම සිංහල ප්‍රේක්ෂකයන්ගෙනුත් බොහෝ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. 


කෝමාලි කිං චිත්‍රපටයේ ඔබ රඟදක්වන චරිතය ගැන මුලින්ම කතා කරමු

මගේ චරිතේ නම යෝගා. ඇය ගුරුවරියක්. යෝගාට විවාහක් හරියන්නේ නැහැ. යෝගාගේ දෙමව්පියෝ යෝගාට කසාදයක් කරලා දෙන්න ගොඩක් උත්සාහ කරනවා. ඒත් යෝගාගේ පවුල මධ්‍යම පාන්තික පවුලක් නිසාත් දෑවැදි ප්‍රශ්නේ නිසාත් දෙමව්පියන්ට යෝගාව කසාද බන්දලා දෙන්න බැරි වෙනවා. ඉතින් යෝගා ගෙදරටම නාකි වෙනවා. ඒ අතරතුර ඇය පුංචි දරුවන්ට පන්ති කරලා පැය විසිහතරම තමන්ගේ කා‍ලේ ගෙවා ගන්නවා. එහෙම කරලා ඇය විශාල තෘප්තියක් ලබා ගන්නවා.

''කෝමාලි කිං'' චිත්‍රපටය ලාංකේය සිනමාවේ නිර්මාණය වූ පූර්ණ දෙමළ චිත්‍රපටයක්. සිංහල චිත්‍රපටවල දෙමළ චරිත හරහා සම්මානයට පාත්‍ර වූ රංගන ශිල්පිනියක් විදිහට මේ චිත්‍රපටය ඔබ දකින්නේ කොහොමද? 

1976 දී කෝමාලිගල් කියලා චිත්‍රපටයක් නිර්මාණය වෙනවා. ඒ චිත්‍රපටය දවස් 95ක් සාර්ථකව දුවපු පූර්ණ දමිළ චිත්‍රපටයක් විදිහට තමයි ඉතිහාසයට එකතු වී තිබෙන්නේ. ඊට පස්සේ රටේ ඇති වුණ ජනවාර්ගික ප්‍රශ්නත් එක්ක දෙමළ සිනමාව නියෝජනය වෙන චිත්‍රපට කිහිපයක්ම හැදුනා. ඒත් ඒවා නිර්මාණය වුණේ ලෝ බජට් චිත්‍රපට විදියටයි. අවුරුදු හතළිහකට පස්සේ රුපියල් කෝටි 3ක් වගේ අධික මුදලක් වියදම් කරලා ලංකාවේ හදපු සාර්ථකම වාණිජමය දෙමළ චිත්‍රපටය විදිහට තමයි මම කෝමාලි කිං හඳුන්වන්නේ. ඒ නිසා තමයි ලාංකේය සිනමාව ඇතුළේ දෙමළ සිංහල ප්‍රේක්ෂකයෝ බොහෝම ආදරෙන් මේ චිත්‍රපටය වැළඳ ගත්තේ.

ඔබ බොහෝ විට සිනමාවට පමණක් සීමාවූ රංගන ශිල්පිනියක් බවට පත් වෙලා ඇයි ඒ ?

මම මාව හඳුන්වලා දෙන්නත් කැමැති ලාංකේය සිනමා නිළියක් විදිහට විතරයි. මොකද මම ටෙලිනාට්‍ය පැත්තට යොමු වෙලා නැහැ. යොමු වෙන්න කැමැත්තකුත් නැහැ. 

එහෙමනම් ඉදිරියේදී ඔබ රඟපෑ චිත්‍රපට මේ රටේ ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්නට ලැබේවි. 

ඔව්. ප්‍රියන්ත කළුආරච්චිගේ අධ්‍යක්ෂණය කළ රතු සමනළ සිහිනය කියන චිත්‍රපටය සහ දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ ගිරිවැඩිපුර කියන චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ඒ වගේම තව චිත්‍රපට කිහිපයකටත් මට ආරාධනා ලැබිලා තියෙනවා. 

ඔබේ රංගන කටයුතුවලට ඔබට ගෙදරින් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද? 

ඇත්තටම මුල් කා‍ලේ නම් මට ගෙදරින් කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ. නිළියක් වෙනවා කියන එක නරක දෙයක් විදිහටයි ඔවුන් දැක්කේ. මේක ලංකාවේ නිළියන්ට විතරක් නෙමේ නළුවන්ටත් තියෙන ප්‍රශ්නයක්. මොකද වැරදි පැත්තට යනවා. හොඳ නමක් හදාගන්න බැහැ කියලා තමයි බොහෝ වැඩිහිටියන් අද කලාවට එන තමන්ගේ පසු පරම්පරාවට කියන්නේ. ඒත් මෙතනදී වැඩිහිටියන්ට, දෙමාපියන්ට දොස් කියලා හරි යන්නේ නැහැ. ක්‍ෂේත්‍රයේ වෙන දේවල් තමයි ඔය වගේ මත නිර්මාණය වෙන්න බලපාන්නේ. හැබැයි ලංකාවේ මිනිස්සු මට ආදරෙයි. ජාති භේදයක් නැතිව මගේ දක්ෂතාවයට ලංකාවේ සිනමාව ඇතුළේ නිසි තැනක් ලැබිලා තියෙනවා. මං හරි දේ කරනවා. හරි තැනට යනවා කියන එක ඔප්පු කරලා තියෙන නිසා දැන් ගෙදරින් බාධාවක් නැහැ. 

සමන්මලී නැලිගම

No comments:

Post a Comment

Post Bottom Ad