උඩරට මැණිකෙලාට වැඩ වරද්දා ජනතාව නොගයැවීමේ කුමන්ත්‍රණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 18, 2018

උඩරට මැණිකෙලාට වැඩ වරද්දා ජනතාව නොගයැවීමේ කුමන්ත්‍රණයක්


දුම්රිය ජ්‍යෙෂ්ඨ ගමනාගමන බලධාරීන් සුළු පිරිසක් විසින් සමස්ත උඩරට දුම්රිය සේවාවම අඩපණ කර ජනතාව අපහසුතාවට පත් කරවා රජය අපකීර්තියට පත් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

මේ ක්‍රියාදාමය අනුව සමස්ත උඩරට දුම්රිය සේවාවම කඩා වැටෙනු ඇති බවට දුම්රිය ආරංචි මාර්ග පවසයි.

මේ වන විට උඩරට මැණිකේ, පොඩි මැණිකේ ඇතුළු බොහෝ දුම්රිය ධාවනය අඩපණව ඇති අතර පොඩි මැණිකේ දුම්රිය රඹුක්කන සිට බදුල්ල දක්වාම (කඩිගමුව හැර) සියලු දුම්රිය ස්ථානවල නවත්වා ධාවනය කරවීමට කටයුතු කර ඇති බව පැවසේ.

එසේම බදුල්ලෙන් පෙරවරු 10.00ට කොළඹ බලා පැමිණි දුම්රිය පෙරවරු 11.00ට බදුල්ලෙන් ධාවනය කිරීමට කටයුතු කර ඇති අතර මේ නිසා කොළඹට පැමිණ අලුත්ගම හා රාගමින් බැස හලාවත දක්වා යන අවසන් රාත්‍රී දුම්රිය සම්බන්ධ කරගත් මඟීන්ට එම දුම්රිය මඟහැරී යන අතර, විශේෂයෙන්ම රාගම දුම්රිය ස්ථානයෙන් බැස කටුනායක ගුවන් තොටුපොළ දක්වා ගමන් ගන්නා සංචාරකයෝ දැඩි අපහසුතාවකට පත් සිටින බව වාර්තා වේ.

එසේම මහනුවරින් පෙරවරු 6.30ට ගමනාරම්භ කර කොළඹට පෙරවරු 9.50ට පමණ ළඟා වූ දුම්රියද ප්‍රමාද කර ධාවනයට කටයුතු කර ඇති නිසා කෙටි නිවාඩු ‍ලබා ගනිමින් කොළඹට පැමිණි මඟීන්ට දුම්රිය අත හැර බස් රථවල පිහිට පැතීමට සිදුව ඇතැයි ද වාර්තා වේ.

එසේම බදුල්ලෙන් දහවල් 11.00‍ මහනුවරට පැමිණි දුම්රියද එක් එක් දිනවලට එක් එක් වේලාවන්ට බදුල්ලෙන් ප්‍රමාද කර ධාවනයට කටයුතු යොදා තිබීමෙන්ද මඟීහු දැඩි අපහසුතාවන්ට පත්ව ඇති බවද පැවසේ.

උඩරට මාර්ගයේ ධාවනයට ආනයනය කරන ලද අඩි 50ක දිගින් යුතු බලවේග දුම්රියක් උඩරට මාර්ගයට නොයොදා මාතර බලා යන ගාලු කුමාරි දුම්රියට යෙදවීම නිසාද මඟීන්ට ප්‍රමාණවත් දුම්රිය සේවාවක් නොමැති වී ඇති අතර කොළඹින් දහවල් 12.40ට හැටන් බලා ධාවනය වන දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයේ පැයකට අධික වේලාවක් නවතා තැබීම නිසාද මහනුවර, මාතලේ නාවලපිටිය අතර ධාවනය වන දුම්රිය කාල සටහන්ද මඟීන් අපහුතාවන්ට පත්වන ආකාරයට සංශෝධනය කිරීම නිසා සංචාරකයන් දේශීය මඟීන් කාර්යාල මඟීන් හා පාසල් සිසුන් යන සියලු දෙනාම දැඩි අපහසුතාවන්ට පත්ව තිබේ.

සති අන්තයේ මහනුවර සිට ඇල්ල දක්වා සුපිරි දුම්රියක් ධාවනය කිරීම හරහා මඟී ඉල්ලීම් යැයි අසත්‍ය කරුණු දක්වා ඇති මුත් මඟීන් එවැනි කිිසිදු ඉල්ලීමක් සිදු කර නොමැත.

මේ තත්ත්වය මත උඩරට දුම්රිය සේවාවම කඩා වැටීමකට ලක් විය හැකි බවත් මේ සඳහා වහාම පියවරක් ගත යුතු බවද දුම්රිය මඟීන් මෙන්ම වෘත්තීය සමිතිද පෙන්වා දී තිබේ.

විශේෂයෙන්ම ප්‍රවාහන අමාත ධුරය දරන නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ල නියෝජනය කරන අයකු නිසා ඇමැතිවරයාද අපහසුතාවට පත් කිරීම මේ කාර්යයයේ එක් අරමුණක් බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. අබේවික්‍රම මහතාගෙන් කරුණු විමසීමට උත්සාහ කළද ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ අතර අතිරේක සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතාගෙන් පසුගිය සිකුරාදා කළ විමසීමකදී ඔහු පැවසුවේ තමා පෙර දින විදෙස් ගතව සිට පැමිණි හෙයින් ඒ සම්බන්ධයෙන් තමා දැනුවත් නොමැති බවත් ‍ මේ කාලසටහන් සංශෝධනය කර ඇත්තේ දුම්රිය ගමනාගමන අධිකාරිවරයා විසින් බවත් ඔහු ද විගණන රැස්වීමකට සහභාගි වී ඇති බවත් වැඩි විස්තර ඔහුගෙන් විමසන ලෙසයි. ‍
එසේ වුවත් ගමනාගමන අධිකාරිවරයාද අවස්ථා කිහිපයකදී සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.


(under the courtesy of srilankamirror.lk news web)

No comments:

Post a Comment

Post Bottom Ad