හිතවතියන්ට කෝටි ගණන් ජනතා මුදල් පිදු දුමින්දට අමුඩයෙන් වසා ගන්නවත් නිරුවතක් නෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 13, 2017

හිතවතියන්ට කෝටි ගණන් ජනතා මුදල් පිදු දුමින්දට අමුඩයෙන් වසා ගන්නවත් නිරුවතක් නෑ..

හිතවතියන්ගේ ගොඩනැගිලි කුලියට ගැනීමට කෝටි ගණන් ජනතා මුදල් නාස්ති කිරීම චෝදාන එල්ල වී ඇති දුමින්ද දිසානායකට අමුඩ ගසා වසාගැනීමට තරම් නිරුවතක් ඉතුරු වී නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රිවරයා මෙසේ ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂය විසින් අනුරාධපුරයේ පවත්වන ලද රැලියට දස දහසක් ආවොත් තමන් අමුඩයෙන් සැරසී පාර්ලිමේන්තු එනවා යැයි කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා කර ඇතැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි. ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ ව්‍යවසායකයන් දැනුවත් කිරීම සඳහා උඩුගම්පොළ දී අද (13) උදෑසන පැවැති සම්මන්ත්‍රණයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවල පිළිතුරු දෙමින් ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

අපි දැක්කා දුමින්ද දිසානායක කියලා තියෙනවා අපේ අනුරාධපුරයේ රැලියට සෙනඟ දහදාහක් ආවොත් අමුඩය ගහගෙන පාර්ලිමේන්තු යනවා කියලා. දුමින්දට විතරක් නෙමෙයි මේ ආණ්ඩුවේ කාටකාටත් දැන් පාර්ලිමේන්තු යන්න වෙලා තියෙන්නේ අමුඩය පිටින් තමයි. තමන්ගේ හිතවතියන්ගේ ගොඩනැගිලිවලට ජනතා මුදල් කෝටි ගණන් වියදම් කරනවා කියලා චෝදනා එල්ල වෙලා තියෙන  දුමින්දට නම් අමුඩයක් ගහලා වහගන්න තරම් නිරුවතක් ඉතුරු වෙලා නැහැ. දැන් මුළු රටම එයාගේ නිරුවත දැකලා ඉවරයි.

එස්. බී. දිසානායක ඇමැතිවරයා කියලා තිබුණා ඒකාබද්ධ විපක්ෂයේ අපි පළාත් පාලන මැතිවරණයේ දී එකට තරග කරන්න ඕනේ කියලා එයාලගේ පස්සෙන් වැඳ වැටෙමින් එනවා කියලා. මම හිතන්නේ එස්. බී මහත්තයා දවල් හීනයක් දකින්න ඇති. එහෙම නැත්නම් මේ වගේ විකාර කියවන එකක් නැහැ. පහුගිය ඡන්දෙදි එස්. බීලා ඇපත් නැතුව ගෙදර යවන්න ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෝ කටයුතු කළේ මේ වගේ විකාර චරිතවලින් පක්ෂයටවත් රටටවත් පලක් නැති නිසයි. හැබැයි ජනතාව ප්‍රතික්ෂේප කරපු මේ වගේ චරිත ජනාධිපතිවරයා තමන්ගේ වාසිය තකා ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට ගත්තා.

ඒ නිසා අපි එස්. බී ඇමැතිවරයාගේ කතාව ගණන් ගත යුතු නැති වුණත් කිසිම අවස්ථාවක ඒකාබද්ධ විපක්ෂය නිදහස් පක්ෂය එක්ක හවුලේ තරග කරන්නට ඕනේ කියලා ඉල්ලීමක් කරලා නැහැ කියන එක ඒකාබද්ධයේ කැඳවුම්කරු ලෙස මම වගකීමෙන් යුක්තව කියනවා. හැබැයි ඔය කයිවාරු ගහන ඇමැතිවරුන් නම් අපිට ඕනේ තරම් කතා කරනවා හවුලේ ඉල්ලමු කියලා. මහින්ද මහත්තයාගෙන් පටන් ගත්තම අපි හැමෝටම මේ අයගෙන් බේරිල්ලක් නැහැ. මේකට හේතු වෙලා තියෙන්නේ ඉදිරි මැතිවරණයේ දී නිදහස් පක්ෂයට අත්වන ඉරණම මේ අය කල්තියාම දන්න එකයි.

දැන් රටේ ජනබලය තියෙන්නේ කාටද කියලා කවුරුත් දන්නවා. අපට බලය පෙන්වන්න අඩු වෙලා තියෙන්නේ ඡන්දයක් විතරයි. ඡන්දය තියපු ගමන් අපි පෙන්වන්නම් බලය කාටද කියලා. ඒ බලය පෙන්වන්න අපට කා එක්කවත් හවුල් ගිවිසුම්, නිතරග ගිවිසුම් ගහන්න ඕනේ නැහැ. අපිට ඕනේ තරම් ඡන්ද තියෙනවා. ඕනේ නම් අපි හදන පුළුල් පෙරමුණට එකතු වෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් අවස්ථාව තියෙනවා. එහෙම නැතුව අපි නම් කාගෙවත් පිළිකනු ගාණේ ගිහින් කටු සූප්පන්න ලැහැස්ති නැහැ. එහෙම ගිය අය හිතනවා නම් අපිත් එයි කියලා එයාලට ලොකු වැරදීමක් වෙලා.

මේ ආණ්ඩුව කොහොමත් නංගි පෙන්නලා අක්කා දෙන ආණ්ඩුවක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියලා කරන්න හදන්නෙත් නංගි පෙන්නලා අක්කා දෙන තා‍ලේ වැඩක්. මංගල සමරවීර ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී අයවැය කියවනවා කියලා ‍කළෙත් ඒ වගේ වැඩක්. බදු අඩු කරපුවා සිංහලෙන් කියවලා බදු වැඩි කරපුවා කියන්නේ ඉංග්‍රීසියෙන්. එතකොට මේ රටේ බහුතර ජනතාව දන්නේ සිංහලෙන් කියවපු ටික විතරයි. මංගලලාගේ නූල් සූත්තරවලින් ජනතාව රවට්ටන්න ඒකාබද්ධ විපක්ෂයේ අපි ඉඩ තියන්නේ නැහැ.

මංගලගේ අයවැයෙන් කියනවා පැනි බීමවලට වඩා බියර් හොඳයි කියලා. මේක බුදුන් තුන්වරක් වැඩිය බෞද්ධ පින්බිමක් මිසක් මංගලලාගේ ජාතියේ අය වාසය කරන බේබදු ගුබ්බෑයමක් නෙමෙයි. ඉන්දියන් සාගරයේ මුතුඇටය පාදඩ බිමක් කරන්නයි මේ අය උත්සාහ කරන්නේ. මගේ ආණ්ඩුව, මගේ ආණ්ඩුව කියලා කෑගැහුවට මංගලගේ අයවැයෙන් බියර් මිල අඩුකරලා කියලා ජනාධිපතිවරයා දන්නේ නැහැ. අපි අහන්නේ සම්මුතිවාදී ආණ්ඩුවේ අයවැය හැදුවේ ජනාධිපතිවරයාගෙන් උපදෙස් ගන්නේ නැතුව ද එහෙමත් නැත්නම් කියපු කාරණා ජනාධිපතිවරයාට මතක නැද්ද කියලයි.

මංගලලා හදන්නේ ඉතුරු කොල්ලෝ ටිකත් බියර් පොවලා ජනතාව වෙරි මතෙන් ඉන්න කොට ෆෙඩරල් ගෙනල්ලා මේ රට කෑලි කරලා දාන්න වෙන්න ඇති. එහෙමත් නැත්නම් කොල්ලෝ කෙල්ලෝ ටික මත් කරවලා තමන්ගේ සිහින සමණල ලෝකය ගොඩනගන්න වෙන්න ඇති. හැබැයි මංගල මහත්තයෝ අපි ඉන්නකම් ඒ සිහින සැබෑ වෙන්නේ නැහැ කියලත් මතක තියාගත්තොත් හොඳයි. මේ රට මංගලලාට වුවමනා අවමංගල රටක් කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. එකා පිට එකා මැරී වැටුණත් මේ අපරාධයට එරෙහිව අපි ඉදිරියට යනවා.

පුද්ගලයන් වැඩක් නැහැ අපි ඉන්නේ පක්ෂ නායකත්වය එක්කයි කියාගෙන ගිහින් සිරිකොතේ ඉඳුල් කන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ටත් අපි මතක් කරන්න කැමැතියි මේ පාපකර්මවලට කරගහලා නම් අපි ගාවට එන්න හදන්න එපා. පවුකාරයන්ගෙන් රටට වැඩක් නැහැ. ඉදිරියේ දී අපි හදන ජනතා බලවේගයට වුවමනා කරන්නේ පිරිසිදු චරිත මිසක් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු, ඇමැති කටුවලට පෙරේතකමේ ඕනෑ බලු වැඩක් කරන අය නොවෙයි. බණ්ඩාරනායක මහත්තයාගේ ප්‍රතිපත්තිවලට ගරු කරන කිසිම කෙනෙකුට සිරිකොතේ ලගින්න පුළුවන්කමක් නැහැ.

– ප‍්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment

Post Bottom Ad