නිවස ගංගාවක් ආසන්නයේ නම් වහාම ඉවත් වන්න – රජය දැනුම් දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 26, 2017

නිවස ගංගාවක් ආසන්නයේ නම් වහාම ඉවත් වන්න – රජය දැනුම් දෙයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා ආසන්නයේ ජීවත් වන පවුල් වහාම සිය නිවාසවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඉදිරි පැය 48ක කාලය තුළ මහා ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බැවින් මෙලෙස සිය නිවාසවලින් ඉවත් වන්නැයි උපදෙස් ලබා දී තිබේ. ගංවතුර තර්ජන ඇති සෑම ප්‍රදේශයකම පාසල් වසා දමා එම ස්ථාන අවතැන් වන ජනතාවට නවාතැන් ගැනීමට ඉඩ සලසා දෙන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත උපදෙස් ලබා දී තිබේ.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසන්නේ, ගංවතුර ඇතුළු ආපදා තත්ත්වයන් පවතින දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන රාජ්‍ය නිලධාරීන්ගේ හා සියලුම ක්ෂේත්‍ර නිලධාරීන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇති බව ය. අවතැන්වූවන් හා පීඩාවට පත් වී සිටින පුද්ගලයින් බේරා ගැනීම සඳහා මේ වන විට නාවික හමුදාව සහ ගුවන් හමුදාව මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර විපතට පත් වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා අමතර බෝට්ටු ලබා දෙන ලෙස ධීවර හා සංචාරක බෝට්ටු හිමියන්ගෙන් රජය ඉල්ලා සිටියි. අදාළ බෝට්ටු නාවික හමුදාව මගින් ගංවතුර පවතින ප්‍රදේශවලට යැවීමට කටයුතු කෙරෙන අතර අදාළ බෝට්ටු සඳහා වන සියලු ගෙවීම් රජය විසින් සිදු කරනු ලැබේ. අදාළ බෝට්ටු සඳහා අමතර ගෙවීම් සිදු නොකරන ලෙස රජය විපතට පත් වූවන්ට දැනුම් දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad