“මහින්දට තර්ජන නෑ“ - වාර්තාව ගැන සාගල කියයි‌  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 6, 2017

“මහින්දට තර්ජන නෑ“ - වාර්තාව ගැන සාගල කියයි‌ 

“මහින්දට තර්ජන නෑ“ - වාර්තාව ගැන සාගල කියයි‌ තර්ජනයක්‌ නොමැති බවට ලැබුණු තක්‌සේරු වාර්තාව අනුව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂකයන් හතළිස්‌ දෙදෙනකු යළි කැඳවූ බව නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධනය භාර ඇමැති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසීය.

කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතාට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද සමගින් පොලිසියේ එකසිය අසූ හත්දෙනකුගේ ආරක්‍ෂාව ලබාදෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂකයන් හතළිස්‌ දෙදෙනකු යළි කැඳවීම සම්බන්ධව දිනේෂ් ගුණවර්ධන මහතා පෙරේදාත්, විමල් වීරවංශ මහතා ඊයේත් පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගේ අවධානය යොමු කරමින් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් සාගල රත්නායක මහතා මේ බව පැවසී ය.

“ප්‍රභූ ආරක්‍ෂාව සෑදීමේදී පවතින තර්ජන ගැන තක්‌සේරු වාර්තාවක්‌ අනුවයි කරන්නේ. විශ්‍රාම ලැබූ ප්‍රභූන් දෙස බැලුවාමත් ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විශ්‍රාම ගිය පසු ආරක්‍ෂකයන් 65 ක්‌ ලබා දුන්නා. එතුමා මිය යද්දී ආරක්‍ෂාව දහඅට දෙනකුට අඩු කළා. ඩී. බී. විඡේතුංග ජනාධිපතිතුමා විශ්‍රාම යද්දී ආරක්‍ෂකයන් හැත්තෑ අට දෙනෙක්‌ සිටියා. එතුමා මිය යද්දී එම සංඛ්‍යාව දොළහක්‌ දක්‌වා අඩුවී තිබුණා. චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියට ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට වගේම බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල වුණා. 

එතුමිය විශ්‍රාම යද්දී ආරක්‍ෂකයන් 198 ක්‌ ලබාදුන්නා. නමුත් ආරක්‍ෂක තක්‌සේරුව අනුව එය යුද හමුදාවේ 12 ක්‌ සහ පොලිසියේ 69 ක්‌ ලෙස අඩු කළා. දැනට එතුමියට ආරක්‍ෂකයන් 59 ක්‌ සපයා තිබෙනවා.“ යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. “මහින්ද රාජපක්‍ෂ මහතාට 2015 දී විශ්‍රාම යද්දී හමුදාවේ 102 ක්‌ සහ පොලිසියේ 103 ක්‌ ආරක්‍ෂාව ලබා දුන්නා. නමුත් ප්‍රභූ ආරක්‍ෂාව ලබා දිය යුත්තේ පොලිසියෙන් පමණක්‌ බවට ගත් ප්‍රතිපත්තිමය තීරණය අනුව එතුමාගේ හමුදා ආරක්‍ෂකයන් සියය වෙනුවට පොලිසියේ සියයක්‌ ලබා දුන්නා. 

විශේෂ කාර්ය බලකායේ විසිහයක්‌ ලබාදුන්නා. එතුමාට මේ දක්‌වා ආරක්‍ෂකයන් 229 ක්‌ සිටියා. අලුත් ආරක්‍ෂක තක්‌සේරු වාර්තා අනුව පොලිස්‌ නිලධාරීන් 42 ක්‌ යළි කැඳවූවා. දැන් 187 ක්‌ විශේෂ කාර්ය බලකාය සමග එතුමාට ලබාදී තිබෙනවා. එතුමාට විශේෂ රැස්‌වීම් ඇති අවස්‌ථාවකදී අපට අතිරේක පිරිස්‌ සැපයිය හැකියි. මේක දේශපාලන වශයෙන් ඉලක්‌ක කරගෙන කළ දෙයක්‌ නොවේ.“ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad