කුණු කන්දට යට වී මියගිය ගණන 31 ක් අතුරුදන් ගණන 35 ක්‌ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 19, 2017

කුණු කන්දට යට වී මියගිය ගණන 31 ක් අතුරුදන් ගණන 35 ක්‌

කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නායයැමෙන් මියගිය සංඛ්‍යාව 31 දක්‌වා ඉහළ නැඟ ඇති බවත්, අතුරුදන් වූ 35 දෙනකු සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවත් පොලිසිය කියයි.

ඊයේ (18 වැනිදා) මීතොටමුල්ල කුණු කන්ද නායගිය ස්‌ථානයට අප යන විටත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හා පොලිසිය එකතුව බැකෝ යන්ත්‍ර දහයක්‌ යොදා ගෙන කුණු කන්ද නායයැමෙන් අතුරුදන් පුද්ගලයන් සොයා කැණීම් කටයුතුවල නිරතව සිටින ආකාරය දැකගත හැකි විය. මේ වන විට මෙම අනතුරින් විපතට පත් වූ පවුල් 246 ක පුද්ගලයන් 1215 දෙනකු කොළොන්නාව ටෙරන්ස්‌ එන්. ද සිල්වා විද්‍යාලයේ රඳවා සිටින බව එහි ප්‍රකාශකයෙක්‌ ඊයේ පැවැසීය.

දහම්පුර, 101 වත්ත, 23 වත්ත යන ප්‍රදේශවල විපතට පත් ජනතාව මෙම විද්‍යාලයේ රඳවා සිටින බවත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත්, හෙතෙම කීය. කෙසේ වෙතත් පිටි කිරි ඇතුළු වියළි ආහාර ලැබීමේ අඩුවක්‌ දක්‌නට ඇති බවත්, ඒ ගැන පරිත්‍යාගශීලීන්ගේ අවධානය යොමු කරන ලෙසත් හෙතෙම ඉල්ලීමක්‌ කළේය. මුල්ලේරියාව රෝහලේ වෛද්‍යවරුන්, හෙද - හෙදියන් ඇතුළු කාර්යමණ්‌ඩලයක්‌ අවතැන් වූ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් පරීක්‌ෂා කරති.

මීතොටමුල්ල කණු කන්ද අසල නාය ගිය ස්‌ථානයේ කැණීම් කටයුතු ඊයේ පස්‌වැනි දිනයටත් ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සහායෙන් සිදු කරන බවත්, ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 1500 කට අධික ප්‍රමාණයක්‌ සහාය ලබාදෙන බවත් මීතොටමුල්ල ශ්‍රී රාහුල විද්‍යාලයේ ස්‌ථාපිත කර ඇති යුද හමුදා මාධ්‍ය අංශයේ නිලධාරියෙක්‌ පැවැසීය.

No comments:

Post a Comment

Post Bottom Ad