ගීතාගේ මන්ත්‍රීධූරය අහෝසියි? මන්ත්‍රීකමේ වැඩ කිරීම නීති වි‍රෝධීයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 15, 2017

ගීතාගේ මන්ත්‍රීධූරය අහෝසියි? මන්ත්‍රීකමේ වැඩ කිරීම නීති වි‍රෝධීයි 

ගීතාගේ මන්ත්‍රීධූරය අහෝසියි? මන්ත්‍රීකමේ වැඩ කිරීම නීති වි‍රෝධීයි 

ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවන අවස්ථාව වන විට ස්විස්ටර්ලන්ත පුරවැසියකු වූ ගීතා කුමාරසිංහ මහත්මිය මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පත්වීමට හෝ කටයුතු කිරීමට සුදුසු නැති බව නීතිපතිවරයා ඊයේ (14) අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

එබැවින් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත අනුව හිමිකම් ලැබීමට ඇයට නොහැකි බව ද ද්විත්ව පුරවැසිභාවය ලබා සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක් ද සිල්වා මහතා සඳහන් කෙළේය.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය ස්විස්ටර්ලන්ත පුරවැසිභාවයෙන් ඉවත් වී ඇති බවට ප්‍රකාශ කළ ද ඒ බව ලිඛිතව ඉදිරිපත් කිරීමට හෝ ඒ බව තහවුරු කිරීම සඳහා ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට අපොහොසත්ව ඇතැයි නීතිපතිවරයා ඊයේ (14) අභියාචනාධිකරණයට තවදුරටත් දන්වා සිටියේය.

අදාළ ලිපි ලේඛන ද ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාගේ උපදෙස් මත ආගමන විගමන පාලකවරයා ගීතා කුමාරසිංහ මහත්මියට දැනුම් දී ඇතත් ඊට කිසිදු ප්‍රතිචාරයක් මේ වන තෙක් ඇය දක්වා නැතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය ‍සොලිසිටර් ජනරාල් ජනක් ද සිල්වා මහතා කියා සිටියේය.

වෙනත් රටක පුරවැසියකු මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීම නීති විරෝධී සහ මැතිවරණ පනතට පවා පටහැනි බව හෙතෙම සඳහන් කෙළේය. පෙත්සම පිළිබඳ තීන්දුව මැයි 3 වැනිදා ප්‍රකාශයට පත් කෙරෙන අතර ඒ පිළිබඳ ලිඛිත දේශන අප්‍රේල් 5 හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුය.

ස්විස්ටර්ලන්ත පුරවැසිභාවය ලබා තිබියදී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පත්වීම සහ කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව කීය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියෙහි මෙම පෙත්සම ඊයේ (14) කැඳවන ලදී. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම ප්‍රශ්නගත කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය පැහැදිලි කෙළේය.

ආගමන විගමන දෙපාර්තමේන්තු වාර්තා අනුව 2006 අගෝස්තු මස 29 වැනිදා ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය ස්විස්ටර්ලන්ත පුරවැසිභාවය සඳහා අයදුම්කර ඇති අතර සැප්තැම්බර් මස 19 වැනිදා එම පුරවැසිභාවය 17096 දරන අංකය යටතේ ඇයට ලැබී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසී ය. එසේ තිබියදී තමන්ට රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් නිකුත් කරන ලෙස ද ද්විත්ව පුරවැසිභාවය එහි සඳහන් ‍නොකරන ලෙසද ඉල්ලා ඇය ආගමන විගමන පාලකවරයාට 2015 ඔක්තෝබර් මස 30 වැනිදා ලිපියක් යොමු කර ඇති බව හෙතෙම සඳහන් කළේය.

මෙම ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නඩුවක් විභාගවන බව දැන සිටි ආගමන විගමන පාලකවරයා ඒ සම්බන්ධව ලැබුණු නීතිපතිවරයාගේ උපදෙස් මත ද්විත්ව පුරවැසිභාවය ඉවත්කරගැනීම සනාථ කරන ලෙස ඇයට ලිඛිතව දැනුම් දුන් බව ද ඔහු කියා සිටියේය.

ඒ අනුව තමා තවදුරටත් ස්විස්ටර්ලන්ත පුරවැසියකු නොවන බව සඳහන් ලිපියක් සහ එම පුරවැසිභාවය ඉවත් කරගත් ලිපි ඉදිරිපත් කරන ලෙස ඇයට දැන්වූ බවද හෙතෙම කීය.

එහෙත් අද වන තෙක් ඊට ඇයගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සැබෑ ලෙසට ඇය ස්විස්ටර්ලන්ත පුරවැසිභාවය ඉවත්කරගත් බව සනාථ කිරීම සඳහා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ඇය අපොහොසත්ව ඇතැයි ද සඳහන් කළේය.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වෙනත් රටක පුරවැසියකුට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි කටයුතු කළ නොහැකි අතර ඒ අනුව ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද ලැබීමට සුදුසුකම් නොලබන බව හෙතෙම සඳහන් කෙළේය.

ගාල්ල ප්‍රදේශයේ ඡන්ද දායකයන් පිරිසක් වන එන්.ඩබ්ලිව්.ඊ. බුවනෙක, ජේ.කේ. අමරවර්ධන, ජේ.කේ. විජේසිංහ, එච්.එල්.පී. දීප්තිලාල් විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණි. ගීතා කුමාරසිංහ, ආගමන විගමන පාලකවරයා, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා මෙහි වගඋත්තරකරුවෝ වෙති.

දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරන ගීතා කුමාරසිංහ මහත්මිය ඒ සඳහා සුදුසු නොවන බවට ප්‍රකාශයක් කරන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබුණි.

කෙසේ වෙතත් ස්විට්සර්ලන්ත ‐ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි නිසා ගාල්ල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ එම මන්ත‍්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම  සම්බන්ධයෙන් වන තීන්දුව ලබන මැයි 03 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (14) තීන්දු කළේය.

 

No comments:

Post a Comment

Post Bottom Ad