එකම දේශපාලන පක්ෂයකින් අයැදුම්පත් දෙකක් - අලුත් පක්ෂ අයැදුම්පත් 3ක් විසිවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 16, 2017

එකම දේශපාලන පක්ෂයකින් අයැදුම්පත් දෙකක් - අලුත් පක්ෂ අයැදුම්පත් 3ක් විසිවෙයි

එකම දේශපාලන පක්ෂයකින් අයැදුම්පත් දෙකක් - අලුත් පක්ෂ අයැදුම්පත් 3ක් විසිවෙයි

අලුතින් ලියාපදිංචි කිරීම සඳහා දේශපාලන පක්ෂ නියමිත කාලය තුළ එවා ඇති අයැදුම් පත් 93 අතරේ එකම දේශපාලන පක්ෂයකින් අයැදුම්පත් දෙකක් ඉදිරිපත් කර තිබූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

පක්ෂ ලියාපදිංචිය සඳහා අයැදුම්පත් කැඳවීම පෙබරවාරි 28දායින් අවසන් කෙරිණි. පෙබරවාරි 28 වැනිදා මධ්‍යම රාත්‍රි 12 වන විට අයැදුම්පත් 85ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී තිබිණි.

පෙබරවාරි 28 වැනිදා දින මුද්‍රාව සහිතව තවත් අයැදුම්පත් 8ක් ලැබීම නිසා මුළු අයැදුම්පත් සංඛ්‍යාව 93 දක්වා වාඩි වූ බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

මාර්තු 1දා දින මුද්‍රාව සහිතව තවත් අයැදුම්පත් තුනක් ලැබී ඇති අතර එම අයැදුම්පත් නොපිළිගැනීමට ඉඩ ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

අවුරුදු කිහිපයකින්ම දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට නොහැකි වූ නිසා මෙසේ ගැටලු සහගත තත්ත්වයක් ඇති වූ බැවින් ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් අයැදුම්පත් කැඳවනු ලබන අවස්ථාවලදී අදාළ අයැදුම්පත් කැඳවීම අවසන් වන දින හෝ ඊට පෙර අයැදුම්පත් කොමිසම වෙත ලැබිය යුතු බවට දැන්වීම් පළ කිරීමට පසුගිය දා රැස්වූ කොමිෂන් සභාව තීරණයකට එළැඹුණු බව වාර්තා වේ.

දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා ලැබී ඇති අයැදුම්පත් මැතිවරණ කොමිෂන් සභාව මේ දිනවල පරීක්ෂාවට භාජනය කිරීම ආරම්භ කර ඇති බවද එම ආරංචි මාර්ග පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad