ගුවන්සේවා අධිකාරිය සියළු වැරදි හිටපු ඇමති ප්‍රියංකර පිට පටවයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 28, 2017

ගුවන්සේවා අධිකාරිය සියළු වැරදි හිටපු ඇමති ප්‍රියංකර පිට පටවයි..

ප්‍රියංකර ජයරත්න හිටපු අමාත්‍යවරයා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ධූරය දරන වකවානුවට අදාලව චෝදනා එල්ලවී ඇති අතර ඉන් බොහෝමයකට සම්බන්ධ ආයතනය වන්නේ සිවිල් ගුවන්සේවා අධිකාරියයි.

නමුත් මේ සඳහා හේතු දක්වන සිවිල් ගුවන්සේවා අධිකාරියේ ප්‍රකාශ කොට ඇත්තේ මේ කිසිදු කරුණකට ගුවන්සේවා අධිකාරිය වග නොකියන බවත් ඒවා හිටපු අමාත්‍යවරයා විසින් කරන ලද ජීවිත තර්ජන වලට බියෙන් සිදුකරන ලද කටයුතු බවත්ය.

නව අමාත්‍යවරයා පත්වූ විගස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර මහතා, විගණන අධිකාරී රොෂාන් හෙට්ටිආරච්චි මහතා ඇතුළු ඉහළ පෙළේ විගණන නිලධාරීන් රැසක් සම්බන්ධ වූ විගණන කමිටු රැස්වීමේදී සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇත්තේ ‘ඔබතුමාලා දන්නේ නෑනේ ඒ කාලේ අපිට තිබුණු තර්ජන නිසා හිටපු පීඩනය‘ ලෙසයි.

එහිදී සිවිල් ගුවන්සේවා අධිකාරියේ මූල්‍ය ප්‍රධානියා වැඩිදුරටත් පවසා ඇත්තේ ඔහු හිටපු අමාත්‍යවරයාගේ තර්ජන හේතුවෙන් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ මතු ආරක්ෂාව උදෙසා පැමිණිල්ලක්ද සටහන් කළ බවකි. මේ අයුරින් ගුවන්සේවා අධිකාරියේ ඉහළ නිලධාරීන් සියලු දෙනා හිටපු අමාත්‍යවරයාට එරෙහිව කඳවුරු බැඳ ඔහුගේ පිටම සියලු වරද පැටවීමට දැඩි උත්සාහයක නිරත වන බවද වාර්තා වේ.

නමුත් අමාත්‍යවරයාගේ පාර්ශවය පවසන්නේ හිටපු අමාත්‍යවරයා සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සාමාන්‍ය පරිදි නියමිත ක්‍රමවේදයන් භාවිත කරමින් ඉල්ලීම් සිදුකර ඇති බවත් එකී අධ්‍යක්ෂ ජනරාල්වරයා කිසිදු සෘණාත්මක කරුණු දැක්වීමකින් තොරව සියලු ඉල්ලීම් ඉතා ඉක්මනින් ඉටුකර දුන් බවයි.

අමාත්‍යවරයාගේ ඉල්ලීම් වල යම් ගැටළුවක් වුණි නම් ඒවා රාජ්‍ය නිලධාරියා විසින් පැහැදිලිකර කරුණු දැක්විය යුතු බවත් එසේ කිසිදු කරුණු දැක්වීමකින් තොරව සියලු ඉල්ලීම් ලබාදුන් බැවින් මේ සඳහා ගුවන්සේවා අධිකාරිය සෘජුවම වගකිව යුතු බවත්ය. තර්ජනාත්මක දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා පවසා ඇත්තේ එසේ තමා තර්ජනය කොට ඇත්නම් අදාළ දුරකථන සංවාද ඉදිරිපත් කරන ලෙසයි.

– සමීර

No comments:

Post a Comment

Post Bottom Ad