රට විකුණන සිංහයා ‘වික්කම සිංහ’.. වී විකුණන ‘වී-හැරිසන්’.. රනිල් තිරුපති ගිය රහස් හේතුව – මහ සභාවක් නොනවතින සිනා සයුරේ ගිලේ.. [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 25, 2016

රට විකුණන සිංහයා ‘වික්කම සිංහ’.. වී විකුණන ‘වී-හැරිසන්’.. රනිල් තිරුපති ගිය රහස් හේතුව – මහ සභාවක් නොනවතින සිනා සයුරේ ගිලේ.. [Video]

ඡන්ද නිසි කලට නොපවත්වන, රට බෙදන ව්‍යවස්ථා කෙටුම්පතක් ගෙන එන, රටේ සම්පත් විකුණා දමන වත්මන් ආණ්ඩුවට එරෙහිව ලක්‍ෂ ගණනින් පාරට බැස ගෙදර යන ලෙස බලකිරීමේ කාලය දැන් එළඹ ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

මාලඹේ සාලවනඋයන විහාරස්ථානයේදී පැවැති පාසල් දරුවන්ට පොත්පත් හා උපකරණ බෙදාදීමේ උත්සවයකට සහභාගි වෙමින් ඒ මහතා මෙසේ පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන්කර සිටියේය.

“පංචායුධ පදනම වසර ගණනාවකට පෙර බිහි වූයේ මේ රටේ උපකාර ලැබිය යුතු පිරිසගේ අවශ්‍යතා ඉටුකර දීමට, අපට හැකි අයුරින් දායක වීමටයි. ආණ්ඩු බලය ඇති විට වගේම අපි ආණ්ඩු බලය නැති විටත් ඒ යුතුකම ඉටු කරනවා. ගංවතුරින් විපතට පත් වූ කොළඹ දිස්ත්‍රික්කයේ දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරා දීමටත් අපි ඒ මොහොතේදී විශාල දායකත්වයක් ලබා දුන්නා.

මාසික වියදම බොහොම අමාරුවෙන් දරා ගන්නා පවුලක් දෙසැම්බර් මාසයේදී මුහුණ දෙන බරපතළම ප්‍රශ්නය තමයි ‘දරුවන්ගේ පාසල් පොත් ඇතුළු අනෙක් පාසල් උපකරණවලට යන අතිරේක වියදම හොයාගන්නේ කොහොමද?’ කියන එක. මේ අතිරේක පිරිවැය සොයාගන්න බැරිව මාතර ප්‍රදේශයේ මවක් ගඟට පැනලා තිබුණා. 


ඒ වගේම මම සමාජජාලා වෙබ් අඩවි මගින් දුටුවා, තමන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසල් උපකරණ ලබා ගැනීමට එක්තරා දියණියකට නගරයට ඇවිත් මේ නිවාඩු කාලයේ හඳුන්කුරු විකිණිමට සිදුව ඇති බවට වූ ප්‍රවෘත්තියක්. අලුත් අවුරුද්දත් සමඟ දෙමාපියන්ට එන මේ භයානකම ප්‍රශ්නයට සම්පූර්ණයෙන්ම නොවුණත් යම් පිළිතුරක් සපයන්න අපි සැමවිටම උත්සාහ කළා. ඉදිරි දිනවලදී මාලඹෙන් ඇරඹි මේ සද්කාර්යය අනෙකුත් ප්‍රදේශ කරා රැගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

‘වික්‍රමසිංහ දැන් වික්කමසිංහ වෙලා’

2015 ජනවාරි 08 වැනිදා හංසයාට කතිරය ගහපු අය හිතුවා, ‘අවුරුද්දක් විතර යනකොට අපට තිබෙන ආර්ථික ප්‍රශ්න දූරින්භූත වෙලා යයි’ කියලා. නමුත් මේ ආණ්ඩුව බලයට ඇවිත් අවුරුදු 02 ගතවෙන කොට 2014දී ඩොලරයට ගෙවපු රුපියල් 132 වෙනුවට ඩොලරයට රුපියල් 152ක් ගෙවන්න වෙලා. 


මේ ආකාරයට රුපියල අවප්‍රමාණය වනකොට පිටරටින් ගෙනෙන සියලු භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනවා. ඒ විතරක් නොවෙයි ගත්තු විදේශ ණය ප්‍රමාණයත් බලා සිටියදී ඉහළ යනවා. ණය බර ගැන කියලා මේ අණ්ඩුව පත්තරවල කෝටි ගණන් වියදම් කරලා දැන්වීම් දානවා. නමුත් ණය බර දිනෙන් දින ඉහළ යන එක නවත්වා ගන්න නම් රුපියල ඩොලරය ඉදිරියේ මේ විදියට වැටෙන එක නතර කරන්න ඕනෙ. 

මහ දවාලේ සිදු කරපු මහ බැංකු බැඳුම්කර වංචාවේ මහ මොලකරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව, පසුගියදා පොදු ව්‍යාපාර කාරක සභාව(කෝප් කමිටුව) විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වෙනවා. දැන් එතැනින් නතර නොවී එයා ඉදිරියට යනවා. රටට අහිතකර කටයුතු රැසක් කරනවා. රටේ සම්පත් විකුණාගෙන කෑමත් අරඹලා. එදා පෝට්සිටිය හදනකොට, ‘මේ රට චීන කොලනියක් බවට පත් කරනවා’ කියලා කෑගහපු රනිල් වික්‍රමසිංහ මහතා අද හම්බන්තොට වරාය චීනයට විකුණා දමා තිබෙනවා. 

ඒ වගේම හම්බන්තොටින් අක්කර 15,000ක් චීනයට දෙන්න හදනවා. මට එක් තරුණයකු කීවා ‘දැන් නම් අගමැතිතුමාගේ නම වෙනස් කරන්න කාලය හරි’ කියලා. ‘රටේ වටිනා සම්පත් තුට්ටු දෙකට විකුණලා සිංහයකු වෙන්න හදන වික්‍රමසිංහගේ නම ‘වික්කම සිංහ’ විදියට වෙනස් වුණොත් හොඳයි’ කියලයි ඒ තරුණයා කීවේ. මම කල්පනා කළේ මේ අගමැතිවරයාට ‘වික්‍රමසිංහ’ කියනවාද, ‘වික්කමසිංහ’ කියනවාද කියලයි. 

(සභාවේ සිනා)

පෝට්සිටිය හැදෙනවාට විරුද්ධව කෑගහලා බලයට ආපු මේ අය අද කරන්නේ එදා කියපු දේට හාත්පසින්ම වෙනස් දෙයක්. ‘නොමිලේ වයි-ෆයි දෙනවා’ කියලා තරුණ තරුණියන් රවටපු මේ ආණ්ඩුව අද අන්තර්ජාල ගාස්තු 25%කින් වැඩි කරලා, දුරකථන ගාස්තුවලට 50%ක බද්දක් අය කරනවා. 


මේ රටේ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ විශාල වෙනසක් සිදු වුණේ මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේයි. ඒ වසර 10 තුළ නවීන තොරතුරු තාක්‍ෂණික පහසුකම් ගම දක්වා ගියා. ‘වෙනසක්’ ගැන ජනතාව තුළ බලාපොරොත්තු ඇති කරවලා, ඒ ආණ්ඩුව ගෙදර යවන්නත් කුමන්ත්‍රණකරුවන් ඒ පහසුකම් යොදා ගත්තා. මහින්ද රාජපක්‍ෂ පාලනයේ අඩුපාඩු නොතිබුණා නොවෙයි. 

‘කටේ නරක් වුණු දතක්, දෙකක්’ තිබුණා තමයි. නමුත් 2015 ජනවාරි 08 වැනිදා කළේ ‘නරක්වුණු දතක්, දෙකක් වෙනුවට කටේ තිබුණු දත් 32ම’ ගලවලා දමපු එක. දැන් කට ‘ලොම්බක්’ කරගෙන බලා සිටින්න තමයි ජනතාවට වෙලා තිබෙන්නේ. හිතුවේ සුපිරි දත් තියෙන කටක් හැදෙයි කියලා. දැන් දත් තිස්දෙකම නැති ලොඹු කටක් හැදිලා. විටක් හපා ගන්නවත් බැරිව දැන් ඉන්නවා. ’ දෙයියනේ මේ මොකද වුණේ?” කියලා.

‘පී. හැරිසන් – වී හැරිසන් වුණු හැටි’

දැන් කොහොමද හාල් මිල? ‘හාල් මිල වැඩියි’ කියලා එදා සමහරු හංසයාට කතිරය ගැහුවා. හාල් කිලෝව රුපියල් 100 පැනලා. හාල් මිල මේ විදියට ඉහළ ගියේ මේ ආණ්ඩුවේ මෝඩ තීන්දු නිසා. පොහොර සහනාධාරය කප්පාදු කළා. වී අලෙවි මණ්ඩලය භාර ඇමති පී හැරිසන්ට දැන් මිනිස්සු කියන්නේ වී හැරිසන්. එයා ‘වී අතිරික්තයක් තිබෙනවා’ කියලා වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගත්තු වී තොග කුණු කොල්ලයට සත්ව ආහාර විදියට විකුණලා දැම්මා. දැන් හාල් හිඟයක් ඇති වෙලා කියලා ඉන්දියාවෙන් හාල් ගෙන්වන්න යනවා. 


මහින්ද රාජපක්‍ෂ පාලන සමය තුළ මේ රට සහලින් ස්වයංපෝෂිත වුණා. ඇතැම් රටවල ස්වාභාවික ආපදාවන් ඇති වූ පසු අපි ලෝක ආහාර සංවිධානය මගින් එම රටවලට සහල් ප්‍රදානය කළා. නමුත් අවුරුදු 02යි ගියේ. මහ මොලකරු රනිල් වික්කමසිංහ යටතේ හාල් කිලෝව රුපියල් 100ට නැඟලා. ඒ වගේම රටේ හාල් හිඟයක් ඇති වෙලා තිබෙනවා. එදා සමාජජාලා වෙබ් අඩවි පාවිච්චි කරලා ‘මහින්ද රාජපක්‍ෂ මිත්‍යාදෘෂ්ටිකයෙක්’ කියලා මතයක් හදන්න හැදුවා. 

නිතර දළදා මාළිගාවට, කතරගම දේවාලයට යන එක, අතේ පිරිත් නූල් කිහිපයක් බැඳගෙන සිටීම ආදිය මේ මතය සාධාරණීකරණය කරන්න ඔවුන් පෙන්නුවා. දැන් බලන්න මේ ‘මොඩරේට් නායකයා’ රනිල් වික්කමසිංහ ඉන්නේ කොහෙද? කියලා. ඉන්දියාවේ තිරුපතිවල. එයා දැන් තිරුපතිවල ඉඳන් ‘අනේ දෙයියනේ මට මොලය පෑදේවා!’ කියලා කන්නලව් කරනවා. මේ අය කිව්වේ එකක්. අද කරන්නේ වෙන එකක්.

‘බලයට ආවේ ජනාධිපතිගේ විධායක බලය අහෝසි කරන්න’

මේ අය බලයට ආවේ ‘ජනාධිපතිගේ විධායක බලය අහෝසි කරනවා’ කියලයි. ජනාධිපතිගේ විධායක බලය අහෝසි නොකළාට පොඞ්ඩක් අඩු කළා. නමුත් දැන් ජනාධිපතිටත් වඩා බලතල තියෙන ඇමති ධුරයක් හදන්න යනවා. මේ සුපිරි ඇමති ධුරය හදන්න යන්නේ සංවර්ධන(විශේෂ විධිවිධාන) පනත නමින් පනතක් ගෙනල්ලා. ඒ පනතින් හැදෙන සුපිරි ඇමති තමයි රනිල් වික්කමසිංහ. ඒ ඇමතිවරයාට පුළුවන් රටේ ඕනෑම දේපළක් පවරා ගන්න. 


රටවැසියාට ඊට එරෙහිව නඩු කියන්න බැහැ. මේ ඇමතිවරයාට මුක්තිය තිබෙනවා. ‘ජනාධිපතිට මුක්තිය තිබෙන එක හරි නැහැ’ කියමින් බලයට ආපු මේ අය අද මොනවද කරන්නේ? දැන් ඇමති කෙනෙකුටත් මුක්තිය දෙන්න හදනවා. මේකද ඉටු කරනවා කියපු යුක්තිය? ඒ සුපිරි ඇමතිට සහ ඒ යටතේ හැදෙන ආයතනයේ නිලධාරීන්ට එරෙහිව යම් රටවැසියකුට නඩු කියන්න බැහැ. යම් නිලධාරියකු පහළ උසාවියක පැවරූ නඩුවක වැරදිකරුවකු වුවහොත් ඊට අදාළ වන්දිය ගෙවන්න වෙන්නේ රජයටයි.

‘සිරගතකොට සිටි ත්‍රස්තවාදියකු පැනයන විට වෙඩි තැබීමෙන් මිය ගියා’ කියන චෝදනාවට රණවිරුවකු වරදකරු කොට ඔහුට ඒ ත්‍රස්තවාදියාගේ පවුලට රුපියල් ලක්‍ෂ 20ක වන්දියක් පෞද්ගලිකව ගෙවීමට අධිකරණය පසුගියදා නියෝග කළා. ඒ මුදල ඔහුට පෞද්ගලිකව ගෙවීමට අපහසු වුණා. එවිට ඔහුට සිරගත වෙන්නයි සිදු වුණේ. පසුව ජාතික සංවිධාන එක් වී ඒ මුදල ගෙවා ඔහු නිදහස්කර ගත්තා. ත්‍රස්තවාදය පැරදවීමට යුද වැදුණු රණවිරුවකු යම් චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වෙලා වන්දියක් ගෙවන්න වුණාම ඔහු ඒක පෞද්ගලිකව ගෙවිය යුතුයි. 

නමුත් මේ සංවර්ධන(විශේෂ විධිවිධාන) පනත යටතේ හැදෙන ආයතනයේ නිලධාරියකු සිදු කරන වරදකට වන්දි ගෙවිය යුත්තේ රජයෙන්. මේ සුපිරි ඇමති යටතේ හදන ආයතනයට ඕනෑම මහජන දේපළක් පවරා ගැනීමට හැකියි. ඒ සඳහා ප්‍රමාණවත් වන්දියක් නොගෙවා සිටිය හැකියි. මහවැලි ඉඩම්, වතු ඉඩම්, නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්, නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් ආදී රාජ්‍ය අංශය සතු සියලු ඉඩම්වල කෙරුමක්කාරයා වන්නේ මේ සුපිරි ඇමති.

“මෙත්‍රීගේ දත් ගලවද්දී – රනිල්ට අලුත් දත්’

දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ තිබෙන දත් ගලවනවා, රනිල් වික්කමසිංහ අගමැතිවරයාට අලුත් දත් හයිකර ගන්නවා. මේ ආණ්ඩුව දුන් පොරොන්දු කිසිවක් ඉටුකර ගැනීමට නොහැකිව තවමත් ‘රාජපක්‍ෂ මුවහමට’ තඩිබාමින් සිටිනවා. දැන් තමයි මේ ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ සියුම් ඉන්ද්‍රියන් වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ. අවුරුදු 02කට පස්සේ ඔවුන්ට ගඳ සුවඳ දැනෙන්න පටන් අරන්. දැන් ඔවුන් කියනවා, ‘මේ ආණ්ඩුව අසුචි වලක්’ කියලා. ආණ්ඩුවේ එක කෑල්ලක් අනෙක් කෑල්ලට බැන වදින මේක විකාර ආණ්ඩුවක් කියලා අපට පෙනෙනවා. 


මේ රට මීට අවුරුදු 02කට කලින් 7%ක ආර්ථික වර්ධන වේගයක් සමඟ ඉදිරියට ගිය රටක්. ‘වෙනසක්’ බලාපොරොත්තු වුණු මේ රටේ මිනිස්සු අද ඒ ආර්ථික වර්ධන වේගය 3.4%කට පහළ බස්සලා තිබෙනවා. පරදවනු ලැබූ බෙදුම්වාදය යළි හිස ඔසවමින් තිබෙනවා. අලුත් ව්‍යවස්ථා කෙටුම්පතකට අදාළ යෝජනා ජනවාරි 09,10,11 යන දිනවල පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. 

ඒ යෝජනාවල තිබෙනවා ‘පළාත් සභා වෙනුවට පළාත් ආණ්ඩු හදනවා’ කියලා. පරමාධිපත්‍ය බලය, මුදල් බලය, පොලිස් බලය, ඉඩම් බලය මේ පළාත් ආණ්ඩුවලට ලබා දීමට එම යෝජනාවලින් නිර්දේශකර තිබෙනවා. පළාත් ආණ්ඩුවට පොලිස් බලය ලැබුණාම, මහ ඇමති ජාතිවාදියකු නම් ඒ පොලිස් බලය ජාතිවාදීව යොදා ගනු ලබාවි. මේ රටේ අධිකරණය විතරයි, කවදාවත් ජාතිවාදී නිර්ණායකවලට යටත් නෙවුණේ. 

නමුත් මේ විවාදයට ගැනීමට නියමිත ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ එක් යෝජනාවකින් කියැවෙනවා, ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරුපණය කිරීම සඳහා ව්‍යවස්ථා අධිකරණයක් හැදිය යුතුයි. ඒකට, සිංහල, දෙමළ, මුස්ලිම් යන ජනවර්ග නියෝජනය වන පරිදි විනිසුරුවරුන් පත්කළ යුතුයි’ කියලා. මීට පෙර කිසිදාක ජාතිකත්ව පදනමින් මේ රටේ අධිකරණ ක්‍ෂේත්‍රයට විනිශ්චයකාරවරුන් පත් කළේ නැහැ. දැන් ඉන්න අගවිනිසුරුතුමා දෙමළ ජාතිකයෙක්. 

නමුත් අපි ඔහු දෙස දෙමළ ජාතිකයකු ලෙස ජාතිවාදී ඇසකින් බලන්නේ නැහැ. අපි ඔහු දෙස බලන්නේ මෙරට අගවිනිසුරු කියන ඇසින්. දැන් මේ ව්‍යවස්ථා පැකේජයෙන් අධිකරණ ක්‍ෂේත්‍රය ජාතිවාදී පදනමින් නිර්මාණය කරන්න හදනවා. ඒ අනුව පැහැදිලියි, මේ නව ව්‍යවස්ථාවෙන් බෙදුම්වාදීන් ඉතිහාසය පුරා ඉල්ලා සිටි බෙදුම්වාදී ඉල්ලීම් සියල්ල බන්දේසියක තබලා ලබා දෙන්නයි යන්නේ කියලා. 

රනිල් වික්කමසිංහ මහත්තයා ටික කාලයක් මේ පුටුවේ හිටියොත් රටේ ජාතික සම්පත් සියල්ල විකුණා දමනවා පමණක් නොවෙයි, රණවිරුවන් දිවිපුදලා, ලේ හලලා බේරාගත්තු මේ මව් පොළොව අනාගත දරු පරපුරට අහිමි කරාවි. දරුවන්ට පොත් ටිකක් පමණක් ලබාදීලා ඔවුන්ගේ අනාගතය හදන්න බැහැ. අපි දෙමාපියන් හැටියට ඔවුන්ට මේ රට රැකලා දෙන්න ඕනෙ. අද ඡන්ද තියන්නේ නැහැ. 

අනාගත පරපුර සතු වටිනාම සම්පතක් වුණු හම්බන්තොට වරාය කුණුකොල්ලයට විකුණා දමන්න හදනවා. රට බෙදන ව්‍යවස්ථාවක් ගෙන එන්න හදනවා. අපි මේවා දිහා නිහඬව බලා ඉදලා හරි යන්නේ නැහැ. ඒ නිසා මේ රටේ දෙමාපියන්ට, වැඩිහිටි දරුවන්ට වගකීමක් තිබෙනවා, ලක්‍ෂ ගණනින් පාරට බැහැලා මේ ආණ්ඩුවට කියන්න ‘දැන් ඉතිං ගෙදර පලයල්ලා’ කියලා. 

දකුණු කොරියාවේ ජනාධිපතිවරිය දුෂණ චෝදනා සම්බන්ධයෙන් ගෙදර යැව්වේ ඒ රටේ ජනතාව ලක්‍ෂ ගණනින් පාරට බැහැලා. රනිල් වික්කමසිංහ මහත්තයා කෝට් බෑය දෙපැත්තට අදිමින් ‘ඔරලෝසු බට්ටා’ වගේ එහෙට – මෙහෙට පැද්දි පැද්දි කථා කරන විදිය තමුන්නාන්සේලා දැකලා ඇතිනේ. 

එයා හිතාගෙන ඉන්නේ එයාට අගමැතිකම ලැබුණාට පස්සේ මේ රටේ ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා. ‘ඒක මුලාවක්’ කියලා අපි ලක්‍ෂ ගණනින් පාරට බැහැලා ඒ අයට පෙන්වා දන්න ඕනෙ. එයයි රට වෙනුවෙන් මේ මොහොතේ අප වෙත පැවරිලා තිබෙන වගකීම”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ


 

No comments:

Post a Comment

Post Bottom Ad