මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම හා රාජ්‍ය සේවා කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා අද බෝඩ් ලෑලිවලට සීමා වී ඇති බවත් පොලිස්පතිවරයා නීතිය නමද්දී නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදීන්ට තලන තත්වයකට පත් වී ඇති බවත් ජනතාව අද ‘මේකද යහපාලනේ?’ කියා අසන බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
ඊයේ (15) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.
“හම්බන්තොට වරාය විකුණා දැමීමට ගත් තීරණයත් සමඟ එහි සේවකයන් විශාල අසීරුතාවකට පත් වූවා. එසේ තිබියදී ඉදිරියේදි මේ කලාපයේ ප්‍රමුඛතම ජාත්‍යන්තර වරාය බවට පත්වීමට නියමිත හම්බන්තොට වරාය විකුණා දැමීමේ අපකීර්තිය වසා ගැනීමට ආණ්ඩුව මෙහිදී සැලසුම් සහගතව නාවික හමුදාව යොදා ගත් බවයි අපි විශ්වාස කරන්නේ. කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා නාවික හමුදාව වසර 30ක යුදමය කාලසීමාව තුළ සුවිශාල මෙහෙවරක් ඉටු කරනු ලැබුවා. ඒ නිසා මේ රටේ ජනතාව තුළ නාවික හමුදාව කෙරෙහි ගෞරවනීය පිළිගැනීමක් තිබුණා. එය තුට්ටුවකට මායිම් නොකර මෙවැනි වැඩවර්ජනයක් මර්දනය කිරීමට නාවික හමුදාව යොදා ගැනීමට ආණ්ඩුව කටයුතු කළා. එමගින් ආණ්ඩුව සිදු කළේ නාවික හමුදාවේ ගෞරවය සම්පූර්ණයෙන්ම කෙලෙසීමක්.
මේ ‘යහපාලන’ ආණ්ඩුව නාවික හමුදාවේ ගෞරවය පමණක් නොවෙයි අද කෙලෙසලා ඇත්තේ. ඔවුන් අද වන විට කීර්තිමත් දෙපාර්තමේන්තුවක් වූ පොලීසියේද ගෞරවය කෙලෙසා දමා තිබෙනවා. අද පොලිස්පතිතුමාට නියෝග දෙන ‘සර්ලා‘ ඉන්නවා. ‘‘යම් තැනැත්තකු අත්අඩංගුවට ගන්නවාද, නැද්ද?‘ කියා පොලිස්පතිවරයාට තීරණය කරන්න වෙලා තිබෙන්නේ ඒ සර්ලාගේ නියෝග අනුවයි. ඒ අනුව අද පොලිස්පති ධුරයේ වටිනාකම මේ ආණ්ඩුව ඉතා පහත් තැනකට ඇදදමලා තිබෙනවා. අවසානයේ මාධ්‍යවේදියාට පහරදෙන, කුණුහරුප කියන චණ්ඩියකුගේ තත්වයට අද නාවික හමුදාපති කියන ගෞරවනීය තනතුර පහතට ඇද දැමීමටත් මේ ආණ්ඩුව කටයුතු කළා.
මේ ‘යහපාලන‘ ආණ්ඩුව බලයට ආපු ගමන් කතා කළේ ස්වාධීන කොමිෂන් සභා ගැන. ස්වාධීන මැතිවරණ කොමිසමක් ස්වාධීන පොලිස් කොමිසමක් ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමක් ගැන ඔවුන් පුරාජේරු කතා කීවා. නමුත් බලයට ඇවිත් අවුරුදු 02ක් යන්න කලින් මොකද වෙලා තිබෙන්නේ ? ස්වාධීන මැතිවරණ කොමිසමක් තිබෙනවා, නමුත් පළාත් පාලන මැතිවරණය වසර 02ක් තිස්සේ කල් දමමින් ඉන්නවා. මැතිවරණය පවත්වන්නේ නැහැ.“ යැයි ද මොහොමඩ් මුසම්මිල් මහතා වැඩිදුරටත් පැවසී ය.
No comments:
Post a Comment