පොලීසිය පහරදුන්නැයි අයෙක් පැය 3ක් ගසක් උඩ උපවාස කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 10, 2016

පොලීසිය පහරදුන්නැයි අයෙක් පැය 3ක් ගසක් උඩ උපවාස කරයි

පොලීසිය පහරදුන්නැයි අයෙක් පැය 3ක් ගසක් උඩ උපවාස කරයි

අම්බලන්තොට පොලීසියේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 08 වැනිදා රාත්‍රියේ තම නිවසට ඇතුළු වී තමන්ටත් තම බිරිඳටත් පහරදුන් බවට චෝදනා කරමින් අම්බලන්තොට සියඹලාගස්විල පදිංචි දෙදරු පියෙක් ඊයේ (09) ගසකට නැග ඔවුන්ට එරෙහිව විරෝධය පළකළේය.

පැය 03ක පමණ කාලයක් එලෙස ගස උඩ රැඳී සිටි කලුහැන්නදිගේ රෝහිත නමැත්තා පසුව ප්‍රතිකාර ලබාගැනීම සඳහා බැරගම රෝහලට ඇතුළත් වී තිබේ.

ඔහු කියාසිටියේ සත්ව පාලනය තම ජීවනෝපාය කරගනිමින් තමා දරු දෙදෙනා සමඟ ජීවත් වෙන බවත් අසල්වැසි නිවසකින් පොලීසියට කෙරුණු අසත්‍ය චෝදනාවක් මත පොලීසිය තමන්ට පහරදී අත්අඩංගුවට ගත් බවත්ය.

ඒ පිළිබඳව අදහස් දැක්වූ ඔහුගේ බිරිඳ පැවසුවේ,"අපට අසල්වැසි නිවසකින් කරදර කරනවා. ඒ අයගේ පැමිණිලවලට තමයි මගේ මහත්තයට කරදර කරන්නේ. මමයි මහත්තයයි මීට කලින් අම්බලන්තොට පොලීසියට ගිහින් ඕ.අයි.සී. මහත්තයා හම්බවෙලා පෞද්ගලිකව කිව්වා. අපේ මේ ගමේ අහිංසකව ජීවත් වෙන අය අපිට කරදර කරන්න එපා කියාල. නමුත් අපිට පොලීසිය කරදර කරනවා''ලෙසයි.

මේ පිළිබඳව තංගල්ල කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙකුගෙන් විමසූ විට ඔහු කියාසිටියේ එලෙස පහරදීමක් සිදුව තිබේනම් අදාළ පුද්ගලයා කළයුත්තේ ගස් උඩ නැගීම නොව රෝහල්ගතවීම බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් මෙතෙක් පැමිණිල්ලක් ලැබී නොමැති බවත් පැමිණිල්ලක් ලැබුණහෝත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී සාධාරණයක් ඉටුකරන බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad