පාර්ලිමේන්තුවට එරෙහිව පෙත්සමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 23, 2016

පාර්ලිමේන්තුවට එරෙහිව පෙත්සමක්

පාර්ලිමේන්තුවට එරෙහිව පෙත්සමක්
අග‍්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව සිංගරාසා නඩු තීන්දුව අවලංගු කිරීමට කතානායකවරයා පියවර ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් කතානායකවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අවලංගු කිරීමට බලයක් නොමැති බව ප‍්‍රකාශ කරන ලෙසත් ඉල්ලා නීතීඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ නීතිපතිවරයා, අගමැතිවරය සහ කථානායකවරයායි. නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ පෙත්සමෙහි අඩංගු කරුණු මෙසේය.

පසුගිය ජූලි මස 07 වැනි දින අග‍්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ පැවති විවාදයක දී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප‍්‍රකාශිත සිංගරාසා නැමැති නඩු තීන්දුව අවලංගු කරන ලෙස කථානයකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. මෙම නඩු තීන්දුව මගින් විදේශ අධිකරණයන්හි හෝ ආයතන වල නියෝග ක‍්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා අධිකරණය බැඳී නොමැති බව ප‍්‍රකාශ කර ඇත.

අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම ප‍්‍රකාශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියෙන් ප‍්‍රකාශිත ජනතාවගේ ස්වරීභාවය සෘජුවම උල්ලංඝනය වේ.
ඊට අමතරව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ඉ) වගන්තියෙන් සහතික මූලික අයිතිවාසිකම් ද උල්ලංඝනය වීම සිදුවේ. 

එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙස ද මෙම පෙත්සම විභාගයට ගෙන අවසන්වන තුරු මේ සම්බන්ධව කිසිදු පියවරක් ගැනීම වළකාලමින් කථානායකවරයාට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු ඉල්ලා සිටී.

තවද තමන්ගේත් ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද කථානායකවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් අවලංගු කිරීමට බලයක් නොමැති බව ප‍්‍රකාශ කරන ලෙස ද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad