'වාහන නැතුව පයින් යන්නද' - මන්ත්‍රී සැප වාහන නිසා මාධ්‍ය හමුව උණුසුම් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 9, 2016

'වාහන නැතුව පයින් යන්නද' - මන්ත්‍රී සැප වාහන නිසා මාධ්‍ය හමුව උණුසුම් (VIDEO)

'වාහන නැතුව පයින් යන්නද' - මන්ත්‍රී සැප වාහන නිසා මාධ්‍ය හමුව උණුසුම් (VIDEO)
මැති ඇමතිවරුන් යනු නිතර ගමන් බිමන් යන අය බැවින් වෙනත් අයට වඩා වාහනයක අවශ්‍යතාව පවතින බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

මැති ඇමතිවරුන්ට වාහන ලබාගැනීම සඳහා තමන් විසින් පෙරේදා(07)  පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට යොමු කළ බව හෙතෙම කියා සිටියේය.  අමාත්‍යවරුන් 30 දෙනෙකුට වාහන මිලදී ගැනීම සදහා රුපියල් කෝටි 118 ක පරිපූරක ඇස්තමේන්තුවක් රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම  පිළිබඳව ඊයේ (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී උණුසුම් සංවාදයක් ඇතිවිය. 

එහිදී  මාධ්‍ය හමුවට එක්වූ ගයන්ත කරුණාතිලක සහ රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් ප්‍රකාශ කළේ ඇමතිවරුන්ට සැපපහසු වාහනයක් අත්‍යාවශ්‍ය බවයි. කොහොමත් වසර 5න් 5ට වාහනයක් ලබාගැනීමේ හැකියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‍ට හිමිවන බවත්, ඒ අනුව වාහන සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම කිසිදු ගැටළුවක් නොමැති බවත් ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

මෙහිදී මා‍ධ්‍යවේදියෙකු විමසා සිටියේ සාමාන්‍ය වාහන නොව එක් අමාත්‍යවරයෙකුට වාහනයක් සඳහා කෝටි 3.5ක්ද,තවත් අයෙකුට කෝටි 2.5ක්ද ආදී වශයෙන් කෝටි ගණනින් ඉතා ඉහළ වටිනාකමකින් යුතු වාහන සඳහා මුදල් වෙන්කිරීම අනුමත කළ හැකිද යන්නය. ඊට පිළිතුරු දෙමින් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍යවරුන් පාවිච්චි කරන වාහනවල මිල ගණන් එවැනි ඉහළ මට්ටමක පවතින බැවින් ඒ අයුරින් මුදල් වෙන් කර ඇති බවයි.

ජනතාවට රටේ සංවර්ධනය සඳහා පටි තද කරගන්නැයි ඉල්ලීම් කරන අතරතුර මැති ඇමතිවරුන් පමණක් එවැනි කැප කිරීම් නොකරන්නේ මන්දැයි මෙහිදී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කරනු ලැබිණි. සියලුදෙනාම එලෙස කැප කිරීම් කරන බව හා මැති ඇමතිවරුන්‍ට වාහන ගෙන්වන්නේද ජනතාවට සේවය කිරීමට බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවට එක්වුණු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද කියා සිටියේ ජනතාවට සේවය කිරීමට ගම් ප්‍රදේශවලට යාමේදී සාමාන්‍ය වාහනවලින් යාමට නොහැකි තරමට මාර්ග අබලන් තත්ත්වයේ පවතින බව හා ඒ සඳහා 'ෆෝ වීල්' වාහන අත්‍යවශ්‍ය බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad