සංගාගේ සුපිරි පිතිකරණයෙන් සරේ කණ්ඩායමට T20 ජයක්. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

සංගාගේ සුපිරි පිතිකරණයෙන් සරේ කණ්ඩායමට T20 ජයක්.

එංගලන්තයේ ප‍්‍රාන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන ‘නැට්වෙස්ට් බ්ලාස්ට්’ කුසලාන විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේදී හැම්ප්ෂයර් ප‍්‍රාන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 80 ක පහසු ජයක් අත්කර ගැනීමට කුමාර් සංගක්කාර කී‍්‍රඩා කරන සරේ ප‍්‍රාන්ත කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සරේ ප‍්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ කුමාර් සංගක්කාර පන්දු 35 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 72 ක් රැස්කළේය. ආරම්භක පිතිකරු ඩොමිනික් සිබ්ලි (67) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 114 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සංගක්කාර සමත් විය. 


පන්දු 49 කදී වාර්තා වූ ඩොමිනික් සිබ්ලිගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 189 ක ඉලක්කයක් හඹාගිය හැම්ප්ෂයර් ප‍්‍රාන්ත කණ්ඩායමට ඕවර 16.3 කදී සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 108 ක් පමණි. හැම්ප්ෂයර් ප‍්‍රාන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ලූවිස් මැක්මනස් පන්දු 35 කදී ලකුණු 41 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

පිතිකරුවන් 8 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දැවීයාම හැම්ප්ෂයර් ප‍්‍රාන්ත කණ්ඩායමට විශාල පාඩුවක් විය. ඩොමිනික් සිබ්ලි, රවී රාම්පාල්, සෆාර් අන්සාරි සහ ඞ්වේන් බ‍්‍රාවෝ සරේ ප‍්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් කඩුලූ 2 බැගින් දවාගත්හ.


සරේ ප‍්‍රාන්ත කණ්ඩායම – ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 188
(ඩොමිනික් සිබ්ලි 67, කුමාර් සංගක්කාර 72, රෝරි බර්න්ස් නොදැවී 16, ඩැරන් සැමී 27/2, රයන් ස්ටීවන්සන් 40/2)


හැම්ප්ෂයර් ප‍්‍රාන්ත කණ්ඩායම – ඕවර 16.3 කදී සියලූ දෙනා දැවී 108
(ලෙවිස් මැක්මනස් 41, ගැරිත් ඇන්ඩෘ 31, ඞ්වේන් බ‍්‍රාවෝ 3/2, සෆාර් අන්සාරි 12/2, රවී රාම්පාල් 21/2, ඩොමිනික් සිබ්ලි 33/2)


No comments:

Post a Comment

Post Bottom Ad