මෙරට රජයට බලපෑම් කරන්නැයි විග්නේෂ්වරන් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

මෙරට රජයට බලපෑම් කරන්නැයි විග්නේෂ්වරන් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි (PHOTOS)

මෙරට රජයට බලපෑම් කරන්නැයි විග්නේෂ්වරන් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි (PHOTOS)
උතුරු නැගෙනහිර පළාත්වලට ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබාදීම ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් මෙරට රජයට ඉදිරිපත් කළ යෝජනාවලට කිසිදු ප්‍රතිචාරයක් රජයෙන් නොලඳ නිසා එම ගැටළු විසඳා ගැනීමට බ්‍රිතාන්‍ය රජය මැදිහත් වී ශ්‍රී ලංකා රජයට බලපෑම් එල්ල කළයුතු යැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී විග්නේෂ්වරන් මහතා බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ මහතා මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ඊයේ (10) බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහතා යාපනයට පැමිණි අවස්ථාවේ පැවති හමුවකදීය. මහකොමසාරිස්වරයා හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශකොට ඇත්තේ දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නයට මෙන්ම උතුරේ දෙමළ වැසියන්ට අයත් ඉඩම් සම්බන්ධයෙන් ඇති ගැටළුවලට ද රජයෙන් මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නොමැති නිසා ශ්‍රී ලංකා රජය කෙරෙහි තැබූ විශ්වාසය කෙමෙන් බිඳ වැටෙමින් පවතින බවයි.

එමෙන්ම පසුගියදා කොස්ගම හමුදා කඳවුරේ ආයුධ ගබඩාවේ පිපිරීම උදාහරණයට ගෙන යාපනය මයිලිට්ටි හමුදා කඳවුර තුළ එලෙස ගබඩා කොට ඇති අවි සමඟ කඳවුරම ඉවත් කළ යුතු බවද ප්‍රධාන අමාත්‍යවරයා කියාසිටියේය. යුද්ධය අවසන් වී වසර 7ක් ගතවී ඇති නිසා යුද හමුදාව උතුරේ තවදුරටත් රැදී සිටීම අනවශ්‍යය බව පෙන්වා දෙන ප්‍රධාන අමාත්‍යවරයා කියාසිටින්නේ දැනට සිටින පොලිස් නිළධාරීන්ගේ ප්‍රමාණය වැඩි කිරීමෙන් උතුරේ ජනතාවට පොලිස් ආරක්ෂාව සාර්ථකව ලබාදිය හැකි බවයි.

රටේ වර්තමාන තත්ත්වය දෙස බලන විට උතුරේ දෙමළ සිසුන් සිංහල භාෂාව ඉගෙන ගැනීමටත් සිංහල සිසුන් දෙමළ භාෂාව ඉගෙන ගැනීමත් අනිවාර්ය කළයුතු යැයි ද ප්‍රධාන අමාත්‍යවරයා මහකොමසාරිස්වරයා හමුවේ වැඩිදුරටත් සදහන් කර තිබේ. එම හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කෙට ඇත්තේ පවතින ගැටළු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීමට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා එකඟ වූ බවයි.

ඡායාරූප පහතින්....

දියසේන රතුගමගේ

No comments:

Post a Comment

Post Bottom Ad