පුත්තලමේ පාසල් වැසේ  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

පුත්තලමේ පාසල් වැසේ 

ගුරුවරු ‍‍ලෙඩ නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් පුත්තලම අධ්‍යාපන කලාපයේ පාසල් සියල්ල අද (18) වැසී ඇති බව සමස්ත ලංකා විදුහල්පතිවරුන්ගේ සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සරත් විජේසිංහ මහතාට ඒ මහතාගේ කාර්යාලය තුළ දී වයඹ පළාත් සභා මන්ත්‍රී ටී.එම්.තාහිර් මහතා විසින් බැණ වැදී පහර දීමට උත්සහ කළ බව කියන සිද්ධියකට විරෝධය පළ කරමින් මෙසේ ගුරුවරු ලෙඩ නිවාඩු වාර්තා කර ඇත. ඉකුත් 16 වැනි දා පස්වරුවේ මෙම සිද්ධිය සිදු වී තිබේ.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට බැණ වැදී පහර දීමට උත්සහ කළ බව කියන වයඹ පළාත් සභා මන්ත්‍රී ටී.එම්. තාහිර් මහතා නීතිඥයින් දෙදෙනෙකු මගින් ඊයේ (17) පුත්තලම පොලීසියට ඉදිරිපත් විය. 
පොලිස් නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරු ව පුත්තලම දිසා අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. 

එහි දී රුපියල් ලක්ෂ 02 බැගින් පුද්ගල ඇප දෙකක් මත පළාත් සභා මන්ත්‍රීවරයා ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.පුත්තලම අධ්‍යාපන කලාපයේ පාසල් 185 ක් ඇත. ඒ අතර සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල් ද වේ. 18 වැනි දා තමන් ලෙඩ නිවාඩු වාර්තා කරන බැවින් පාසල්වලට නොඑන ලෙස ඇතැම් ගුරුවරු 17 වැනි දා සවස පාසල් දරුවන් දැනුවත් කර තිබේ.

ඒ අනුව බොහෝ පාසල්වල දරුවන් පාසල් වෙත පැමිණ නොමැත. එහෙත් මේ බව නොදැන පාසල් පැමිණි දරුවන්ව ආපසු පිටත් කර යැවීමට ඇතැම් විදුහල්පතිවරුන්ට සිදු වී ඇත. පළාත් සභා මන්ත්‍රීවරයා විසින් කර ඇති සිද්ධියට විරෝධය පළ කරමින් ගුරුවරුන් ලෙඩ නිවාඩු වාර්තා කර ඇති පාසල් අතර පුත්තලම සහිරා සහ කල්පිටිය අල් අක්ෂා ජාතික (මුස්ලිම්) පාසල් ද වීම විශේෂත්වයකි.

පුත්තලම - ජුඩ් සමන්ත

No comments:

Post a Comment

Post Bottom Ad