ඉබි ගමනේ ගිය විගණකාධිපති දෙපාර්තමේන්තුවට අළුත් මගක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

ඉබි ගමනේ ගිය විගණකාධිපති දෙපාර්තමේන්තුවට අළුත් මගක්

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කටයුතු පසුගිය සමයේ ඉබි ගමනේ ගොස් ඇති බැවින් රටේ අවශ්‍යතා සහ දෙපාර්තමේන්තුවේ වගකීම අතර විශාල පරතරයක් ඇති වී ඇතැයි විගණකාධිපති එච්. එම්. ගාමිණී විජේසිංහ මහතා පවසයි.

ඈත අතීතයේ වසරක් තුළ සිදු වූ වෙනස්කම් වර්ධනය වර්තමාන දියුණු සමාජයේ එක් මාසයක් තුළදී සිදුවෙතැයි කී විගණකාධිපතිවරයා දෙපාර්තමේන්තුවට නව ජීවයක් දිය යුතුව ඇතැයිද තමාට පැවැරුණේ ඒ වගකීම බවද විගණකාධිපතිවරයා පැවසී ය.

නිලධාරීන් එක්දහස් පන්සියයක් පමණ සිටින දීපව්‍යාප්ත විගණකාධිපති දෙපාර්තමේන්තුව අද තිබිය යුතු තැනට බොහෝ පහළ ස්ථානයක තිබෙන බවද දෙපාර්තමේන්තුවට හිමි තැනට පත් කිරීම සඳහා විශාල වෙහෙස මහන්සියක් දැරීමට සිදුවී ඇති බවද හෙතෙම සඳහන් කළේය. 

තමාට දෙපාර්තමේන්තුවේ ඉදිරියට සේවය කිරීමට ඇති කාලය වසර තුනක් බවද ඒ කාලය තුළ ඉතා කඩිනමින් කටයුතු කළ යුතු බවද කී විගණකාධිපතිවරයා පසුගිය සමයේ සකස් කිරීමට නොහැකිව ඇදි ඇදී ගිය කරුණු අතරින් "නව විගණන සේවා ව්‍යවස්ථාව" පසුගිය දිනවල සකස් කළ බවද කීය.

රටේ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා කොතෙක් තිබුණත් ඒ කිසිවක් විගණකාධිපති වාර්තාවේ සඳහන් කර නොතිබූ චෝදනාව ඉන් එකක් බවද ඒ තත්ත්වය මඟහැරවීමට නව පියවර ගත් බවද ඒ සඳහා වෙනස්කම් කෙරෙන බවද විගණකාධිපතිවරයා පැවසී ය.

ගතවූ කාලයේදී විශ්‍රාමික විගණන නිලධාරීන්ට ඔවුන්ගේ අවශ්‍යතා සඳහා දෙපාර්තමේන්තුවෙන් එතරම් සහායක් නොලැබුණද තමා ඒ තත්ත්වය වෙනස් කර විශ්‍රාමික නිලධාරීන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට කටයුතු කරන බවද මේවා වචනවලට සීමා නොකර යථාර්ථයක් කරන බවද විගණකාධිපතිවරයා සඳහන් කළේය.

අත්දැකීම් බහුල නිලධාරීන්ගේ දැනුම දෙපාර්තමේන්තුවට ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බවද ඔහු වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad