එංගලන්තයට ඇදහිය නොහැකි ජයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

එංගලන්තයට ඇදහිය නොහැකි ජයක්

ජෝ රූට්ගේ උපායශීලී පිතිහරඹය නිසා වි:20 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අපි‍්‍රකාව සහ එංගලන්තය අතර අද (18 වැනිදා) මුම්බායිහිදී පැවැති තරගයෙන් කඩුලූ 2 ක තියුණු ජයක් අත්කර ගැනීමට එංගලන්තය සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 230 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය එංගලන්ත කී‍්‍රඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලූ 8 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. මෙය විස්සයි20 තරගයකදී කණ්ඩායමක් හඹාගොස් ජයග‍්‍රහණය කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද සටහන් වේ.

කී‍්‍රඩාංගණයේ සෑම ප‍්‍රදේශයක්ම පාහේ ආවරණය වන පරිදි දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන්ට රිදෙන්න පහර දෙමින් ලකුණු රැස්කළ ජෝ රූට්, පන්දු 44 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමග වේගවත් ලකුණු 83 ක් ලබාගනිමින් එංගලන්ත කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියේය.

ජොස් බට්ලර් (21) සමග එක්ව එංගලන්ත ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ජෝ රූට් සමත් විය. පන්දු 14 කදී වාර්තා වූ බට්ලර්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක් ඇතුළත් විය.

ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 15 කදී ලකුණු 48 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ ජේසන් රෝයි (47) සහ ඇලෙක්ස් හේල්ස් (17) එංගලන්ත කණ්ඩායමේ ජයග‍්‍රහණය වෙනුවෙන් මනා අඩිතාලමක් දැමූහ. පන්දු 16 කදී වාර්තා වූ ජේසන් රෝයිගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 7 කදී වාර්තා වූ ඇලෙක්ස් හේල්ස්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.

ඕවර 3.4 ක් යවා ලකුණු 41 කට කඩුලූ 3 ක් දවාගැනීමට වේග පන්දුයවන කී‍්‍රඩක කයිල් ඇබට් සමත් වුවත් දකුණු අපි‍්‍රකානු කණ්ඩායමේ සියලූම පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ලෙසින් පහර දීමට එංගලන්ත පිතිකරුවෝ සමත් වූහ. පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අපි‍්‍රකානු කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 96 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමට හෂීම් අම්ලා (58) සහ ක්වින්ටින් ඩිකොක් (52) සමත් වූහ.

පන්දු 31 කදී වාර්තා වූ හෂීම් අම්ලාගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් අන්තර්ගත වූ අතර පන්දු 24 කදී වාර්තා වූ ක්වින්ටින් ඩිකොක්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් අන්තර්ගත විය. දකුණු අපි‍්‍රකානු ඉනිමේ අවසන්  ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ජේ. පී. ඩුමිනි පන්දු 28 කදී නොදැවී ලකුණු 54 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක්ද සමගිනි.

ඬේවිඞ් මිලර් (නොදැවී 28) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 60 ක නොබිඳුණ සම්බන්දධතාවක්ද ගොඩනගමින් දකුණු අපි‍්‍රකානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමටද ජේ. පී. ඩුමිනි සමත් විය.

දකුණු අපි‍්‍රකාව - ඕවර 20 කදී කඩුලූ 4 ක් දැවී 229
(හෂීම් අම්ලා 58, ක්වින්ටින් ඩිකොක් 52, ඒ. බී. ඩිවිලියර්ස් 16, ෆෆ් ඩුප්ලෙසීස් 17, ජේ. පී. ඩුමිනි නොදැවී 54, ඬේවිඞ් මිලර් නොදැවී 28, මොයින් අලී 34/2)

එංගලන්තය -  ඕවර 19.4 කදී කඩුලූ 8 ක් දැවී 230
(ජේසන් රෝයි 43, ඇලෙක්ස් හේල්ස් 17, බෙන් ස්ටොක්ස් 15, ජෝ රූට් 83, ජොස් බට්ලර් 21, කයිල් ඇබට් 41/3, කගිසෝ රබාඩා 50/2)

No comments:

Post a Comment

Post Bottom Ad