'බැරිනම් දෙන්න! කරලා පෙන්වන්නම්!' - මහින්දගේ සම්පූර්ණ කතාව (AUDIO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

'බැරිනම් දෙන්න! කරලා පෙන්වන්නම්!' - මහින්දගේ සම්පූර්ණ කතාව (AUDIO)

තම දරුවන්ට විවිධ චෝදනා එල්ල කර ඔවුන්ව අත්අඩංගුවට ගැනීම තුළින් තමාව දේශපාලනයෙන් ඉවත් කිරීමට වත්මන් රජය බලාපොරොත්තු වේ නම් එය මිරිගුවක් පමණක්ම බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය. 

ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ මුළු පවුලම සිරගත කළත්, තමාව සිරගත කළත් මෙරට ජනතාව වෙනුවෙන් අඛණ්ඩව දේශපාලනයේ නිරත වන බව යි.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද පස්වරුවේ අවසන් වූ ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කෙරුණු "ජන සටන" විරෝධතා රැළිය අමතමිනි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලනඥයින්, ආගමික නායකයින්, කලාකරුවන් හා විවිධ වෘත්තිකයින් සහභාගි වූ මෙම රැළියට අති විශාල ජන සහභාගීත්වයක් ලැබී තිබෙනු දක්නට ලැබුණි.

වත්මන් රජය තමන් ලබා ගත් විදෙස් ණය පිළිබඳ විවිධ චෝදනා නගන නමුත් ලබාගත් ණයවලින් තමා රටට වැඩ කළ බව රාජපක්ෂ මහතා පැවසුවේ ය. තමා ලබා ගත් ණය ඇතුළත් ලැයිස්තුවක් ද ජනතාව හමුවේ ඉදිරිපත් කළ ඔහු, එම ණයවලින් කුමක් සිදු කළේ ද යන්න ද පැහැදිලි කළේ ය. 

එමෙන්ම වර්තමාන ආණ්ඩුව ලබාගත් ණය ලැයිස්තුව ද ප්‍රකාශ කළ රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, එම ණයවලින් හදපු එක් බෝක්කුවක් හෝ තිබෙන ස්ථානය හැකිනම් ප්‍රකාශ කරන ලෙස පවසා සිටියේ ය.

තමන්ට ඇති දුක තමන්ගේ පවුලේ පිරිස් සිරගත කිරීම නොව මෙරටට නිදහස අත්කර දුන් රණවිරුවන්ව සිරගත කිරීම බවත්, යුධ සමයේදීත් තම දරුවන්ව බැලීමට පවා ඉඩ නොලැබුණු එම රණවිරුවන් හට, රට නිදහස් කරගැනීමෙන් පසුව හෝ තම දරුවන් බැලීමට නොහැකි වන සේ සිරගත කර තිබීම මහා අපරාධයක් වන බවත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ අතර ජනාධිපති වී සිටි සමයේ තමාත් විරුද්ධවාදීන්ෙගන් පළිගත්තා නම් තමාට මේ රට අද පවතින තත්ත්වයට ගොඩනැගීමට නොහැකි වන බව ද පෙන්වා දුන්නේ ය.

වත්මන් පාලකයින්ට වැඩ බැරි බව පැවසූ හිටපු ජනාධිපතිවරයා, "ඔබට බැරි නම් මට දෙන්න ; මම කරලා පෙන්වන්නම්" යනුවෙන් ද පැවසූ අතර තමා මෙරට පාලනය කළා නම් පැයක් නොව විනාඩි 10ක් හෝ ජනතාව කලුවරේ නොතබන බව ද අවධාරණය කළේ ය.

මහින්ද රාජපක්ෂ මහතාගේ කතාවේ සම්පූර්ණ හඬ පටය පහතින් ශ්‍රවණය කරන්න.

No comments:

Post a Comment

Post Bottom Ad