දංකොටුව ඝාතනයේ සැකකරු ඇතුළු 5ක් රඳවාගෙන ප්‍ර‍ශ්න කිරීමට අවසර  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 14, 2016

දංකොටුව ඝාතනයේ සැකකරු ඇතුළු 5ක් රඳවාගෙන ප්‍ර‍ශ්න කිරීමට අවසර 

පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන නේවි කපිල හෙවත් සීසර් කපිල ඇතුළු පස් දෙනෙකුව ඝාතනය කර පුළුස්සා දමන ලද බව කියන ව්‍යාපාරිකයා ඇතුළු 05 දෙනෙකුව පැය 48 ක් රදවාගෙන ප්‍රශ්ණ කිරීමටත් ඉන් අනතුරුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් මාරවිල වැඩබලන මහේස්ත්‍රාත් ආර්.එස්.එම්.රාජපක්ෂ මහතා ඊයේ (13) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

මෙසේ රදවා ගෙන ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරන ලද්දේ පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ව්‍යාපාරිකයෙකු වන වන අමිල නුවන් අල්මේදා (අවු:28) ඔහුගේ සේවකයින් බව කියන රෝහිත නියෝමාල් ක්‍රිෂාන්ත (අවු:40),සුනෙත් මධුසංඛ (අවු:28)කේ.ජේ.සමන් කුමාර (අවු:28) සහ රසික ප්‍රදීප් නම් අයවළුන්වය.

දංකොටුව - බුජ්ජම්පොල, ඉරබඩගම ප්‍රදේශයේ තිබී පිළිස්සී ගිය මළ සිරුර සහිත වෑන් රථය පසුගිය 11 වැනිදා අළුයම දංකොටුව පොලීසිය විසින් සොයා ගෙන තිබුණි. එම වෑන් රථය තුළ පිළිස්සී මිය ගොස් ඇති අය කව්රුන්ද යන්න හදුනා ගැනීමට එම අවස්ථාවේදී නොහැකි විය.

නමුත් පිළිස්සී ඇති වෑන් රථය තම සැමියා වන නේවි කපිල හෙවත් සීසර් කපිල යන අය පාවිච්චි කළ බව සිද්ධියට වූ ස්ථානයට පැමිණි කාන්තාවක් පරීක්ෂණ පවත්වන නිලධාරීන් සමග කියා සිටියාය. ඒ අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන රහස් පොලීසිය ඒ වන විට අතුරුදහන් වී ඇති බව කියන නේවි කපිල හෙවත් සීසර් කපිල යන අයගේ දුරකථන අංකය ඔස්සේ පරීක්ෂණ සිදු කර පන්නල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු ඇතුළු පස් දෙනෙකුව අත්අඩංගුවට ගන්නා ලදි. 

ඔවුන්ගෙන් ප්‍රශ්ණ කරන විට ඝාතනයට සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇත. ඒ අනුව පසුගිය 10වැනිදා රාත්‍රී තම නිවසට පැමිණි සීසර් කපිල ඇතුළු 05 දෙනාව පන්නල - මාකදුර සති පොල භූමියට ගෙනවිත් එකිනෙකාට යකඩ පොළු වලින් පහර දී ඝාතනය කර පසුව ඔවුන්ගේ සිරුරු සහිත වෑන් රථය දංකොටුව -බුජ්ජම්පොල - ඉරබඩගම ප්‍රදේශයට ගෙන ගොස් ගිනි තබා විනාශ කළ බව රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති ව්‍යාපාරිකයා පිලිගෙන ඇත.

ඒ අනුව ඝාතනයට ලක්ව ඇත්තේ පන්නල පදිංචි නේවි කපිල හෙවත් සීසර් කපිල, පෑලියගොඩ නීල්, කටානේ ක්‍රිෂාන්ත බවට හදුනා ගෙන ඇත.සෙසු දෙදෙනාව මෙතෙක් හදුනාගෙන නැත. අත්ඩංගුවට ගෙන සිටි සැකකරුවන් පස් දෙනා සම්බන්ධයෙන් වැඩි දුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත රත්නායක මහතා විසින් වැඩ බලන මහේස්ත්‍රාත් ආර්.එස්.එම්.රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර ඇත. 

එම වාර්තාවට අනුව සැකකරුවන්ව පැය 48 ක් රදවාගෙන ප්‍රශ්ණ කිරීමට වැඩ බලන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇත. එමෙන්ම මෙම ඝාතනය සිදුවී ඇත්තේ පන්නල පොලිස් වසමේ මාකදුර සති පොල භූමියේ වන බැවින් එම ප්‍රදේශය අයත් වන කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කරන ලෙසද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියම කර ඇත.

සැකකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු ඉදිරිත් වී නැත.
දංකොටුව පොලීසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බුද්ධික මහතා අධිකරණ කටයුතු වලදී අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහාය වී ඇත.   
   
පුත්තලම - ජුඩ් සමන්ත

No comments:

Post a Comment

Post Bottom Ad