සුජීව සේනසිංහ නීති විරෝධී ඉඩම් ගොඩකිරීමක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 7, 2016

සුජීව සේනසිංහ නීති විරෝධී ඉඩම් ගොඩකිරීමක

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුවක් අවභාවිතාවේ යොදවමින් ආයෝජන ප‍්‍රවර්ධන හා හිටපු අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුජීව සේනසිංහ මහතා වගුරු බිමක් ගොඩ කිරීමට ක‍්‍රියාකර ඇත.

මෙම වගුරු බිම පිහිටා ඇත්තේ කොළඹ දිස්ත‍්‍රික්කයේ කඩුවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාලඹේ ගොවිජන සේවා බල ප‍්‍රදේශයේය. ‘කටකලගහ ඕවිට’ නම් දැනට වගා නොකරන කුඹුරු යාය වෙනත් පුද්ගලයකුගේ මුදල්වලින් මිල දී ගැනීමට කටයුතු කර තිබුණේ සුජීව සේනසිංහ මහතාය.

සේනසිංහ මහතා නමින් ඉඩම මිල දී ගත්තත් අදාළ පුද්ගලයාට දිගින් දිගටම මුදල ගෙවීම පැහැර හැර තිබූ අතර පසුව ඔහුගේ බැගෑපත් ඉල්ලීම මත සේනසිංහ මහතා අදාළ මුදල සම්පූර්ණයෙන් ගෙවා දැමීමට කටයුතු කර තිබිණි.

මිලදී ගත් වගුරු බිම කුඹුරු ඉඩමක් නොවන බව පෙන්වා දෙමින් එම වගුර ගොඩකිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා 2013 වසරේ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළේය SC (F/R) NO 181/2013 යටතේ එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කෙරුණේ 2013.07.27 වන දිනය.

පස් පිරවීමක් නොකළ යුතුබවට :

එම නඩු තීන්දුවට අනුව මෙම ඉඩම වී වගාවට නුසුදුසු බව පෙන්වා දී ඇතත් වගුරු බිම ගොඩකිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී නැත. මෙම ඉඩම කුඹුරු ඉඩමක් නොවන බව තහවුරු කරන ලෙස ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයාට සුජීව සේනසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමට ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයා පිළිතුරු යවා තිබුණේ ද කුඹුරු ඉඩමක් නොවන බව තීරණය කළත් මෙම ඉඩමේ කිසිදු ආකාරයේ පස් පිරවීමක් නොකළ යුතුය යන්නය.

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවත් ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයාගේ නිර්දේශයත් නොතැකූ නීති, හා රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අනවසර හා නීති විරෝධී ලෙස ‘කටකලගහ ඕවිට’ වගුරු බිම පස් පුරවා ගොඩකර දැමුවේය.

සේනසිංහ අමාත්‍යවරයා පාර්ලිමේන්තු ලිපි ශීර්ෂයක් යොදාගනිමින් කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීමේ නිරත වූ Taisei Corporation සමාගමට දන්වා ඇත්තේ පාවිච්චියට ගත නොහැකි ද්‍රව්‍ය සහ ඉවත් කරන ද්‍රව්‍ය මෙම ඉඩම ගොඩ කිරීම සඳහා යොදවන ලෙසයි.

ඉඩමක් ගොඩ කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහනගර සභාව, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක නිර්දේශ ලබාගත යුතුය.

රාජ්‍ය අමාත්‍ය හා නීතිඥ සුජීව සේනසිංහ මහතා කිසිදු රාජ්‍ය ආයතනයකින් අවසර නොගෙන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පවා අවභාවිතයේ යොදවමින් කටයුතු කර තිබිණි. මේ සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසියකු වන එල්.ඒ.ඞී.එම්. ඉඳුසීල මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනුකර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad