වේදීකාව , සිනමාව හා ටෙලිනාට්‍ය තුළින් රසික හදවත් දිනු සෞන්දර්ය වේදියෙකු වන විජය නන්දසිරි නම් කුසලතාපූර්ණ රංගන ශිල්පියා සමඟ එදා මෙදා තුර රංගන දිවිය පිළිබඳ කළ කතාබහකි මේ.
* වත්මන් පරපුරට දැන ගන්නත් එක්ක ඔබේ ආගමනය මෙනෙහි කලොත්,
මම 1966 දි තමයි වේදිකාවට පිවිසුනේ. ඒ මහරගම විද්‍යාකර විද්‍යාලයේ පාසල් නාට්‍ය හරහා. එම්.වයි පෙරේරා කියන ගුරුමෑණියන් දිත්තල කාල ගෝලයි මනමේ කතාවයි සම්බන්ධ කරලා කෙටි නාට්‍යය 2ක් හැදුවා . පරවුණ මල් සහ අගුටුමිටියා. ඒක බලන්න ආපු අමරදාස ජයතුංග කියන මහත්තයා එම නාට්‍ය වලට සංගීතය සපයපු දයාසේන ලියනගේ මාස්ටර්ගේ හිතවතෙක්. එයා1966 විදුරු දිව කියන නාට්‍යයක් කලා. ඒකෙන් තමයි මම මුලින්ම වේදීකාවට ආවේ.
* මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර යන්ගේ මනමේ නාට්‍යයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
1973 දී මම ධම්ම ජාගොඩ මහත්මයගේ නාට්‍යකරණය පිළිබද හදාරමින් ඉන්න කාලේ ඒ මහත්මයා මාව මහාචාර්ය තුමාට හදුන්වලා දෙනවා. එතුමා පරීක්ෂණයක් තියලා මාව තෝරා ගත්තා. එතන ඉදලා මනමේ, සිංහබාහු, කපුවා කපෝති, මහාසාර නාට්‍ය වලට රංගනයෙන් දායක වුනා. පසුකාලීනව ලලිතා සරච්චන්ද්‍රගේ රත්නාවලී නාට්‍ය යේ රඟපෑවා. 1973 ඉදලා අද වෙනකම් මනමේ සිංහබාහු ඇරුණම කපුවා කපෝති, මහාසාර නාටය දෙකේම රංගනයෙන් දායක වෙනවා.
* කෙනෙක් අහන්න පුලුවන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර යන්ගේ මනමේ , සිංහබාහු නාට්‍යයවල රඟපාපු විජය නන්දසිරි කියන නළුවා දැන් මේ කරමින් ඉන්නේ මොකද්ද කියලා?
ඇත්තටම මම (සිනාසෙමින්) අවංකව සතුටු වෙනවා . හාත්ස්‍යෝත්පාදක නාට්‍ය රඟපෑමට පළමුව මනමේ , සිංහබාහු වගේ නාට්‍යය රඟපෑමට ලැබීම ගැන. බැරිවෙලාවත් එහෙම වුණානම් මට මනමේ කුමාරයට රඟපාන්න වෙන්නෑ. නමුත් නළුවෙක් වුණාම ලැබෙන ඕනෑම අභියෝගයක් බාර ගන්න ඕන. ඒක තමයි චරිතාංග නළුවෙකුගේ ලක්ෂණය වෙන්න ඕන. ඉතිං මම හාත්ස්‍යෝත්පාදක රංගනයේ නිරත වෙනවා. මම විතරක් නෙවෙයි, ලංකාවේ බිහිවුණ විශිෂ්ටතම රංගධරයන් වුන ජෝ අබේවිකම , ගාම්ණි ෆොන්සේකා පවා හාත්ස්‍යෝත්පාදක රංගනයේ නිරත වී තිබෙනවා. ඒක විශිෂ්ට රංගන ශිල්පියෙකුගේ හැකියාව පෙන්වන්නක් මිස නොහැකියාව පෙන්වන්නක් නොවේ.
* මොකද හිතන්නේ ඒ කාලේ නිෂ්පාදනය වුණු වේදිකා නාට්‍ය ගැන, ඇයි ඒවා නැවත නැවතත් වේදිකාගත වෙන්නේ? අලුත් නිර්මාණ කිරීමට ඇති නොහැකියාවද?
මම හිතන්නේ නාට්‍ය කලාවේ ස්වර්ණමය යුගය තමයි 60 -70 දශකය. ඒ කාලේ නාට්‍යය නිර්මාණය කළේ ක්ෂේත්‍රෙයේ හිටපු ප්‍රවීණයන් . එදිරිවීර සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, සයිමන් නවගත්තේගම , පේර්මරංජන් තිලකරත්න , සුනන්ද මහේන්ද්‍ර ද මැල්, ධර්මසිරි බණ්ඩාරනායක, ලූෂන් බුලත්සිංහල වගේ අය. ඒ වගේ කාලයක් වර්තමානයේ දකින්න ලැබෙන්නෑ. මනමේ සිංහබාහු වුණත් අද ඉතුරු වෙලා තියෙන්නේ පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කරපු නිසා. ඒනිසා තමයි නරි බෑනා , හුණු වටය , ජසයා හා ලෙංචිනා වගේ නාට්‍ය අලුත් වෙවී වේදිකාවට එන්නේ. පැරණි නිර්මාණ වත්මන් පරපුරට දැකගන්න නොලැබුණු නිසා ඒවා නැවත නිශ්පාදනය වීමේ වරදක් මං දකින්නේ නෑ. අලුත් නිර්මාණ බිහිනොවනවාමයි කියන්න බෑ.
* මේ කාලේ වෙද්දී බොහෝ සෙයින් වේදිකා නාට්‍යය නිශ්පාදන වෙනවා. එය ඉතාමත් සතුටට කාරණයක්. නමුත් ඒවා බොහොමයක් බොළඳ දේශපාලන ප්‍රරහසන. මොකද ඔබ ඒ ගැන හිතන්නේ,
ඔව්. ප්‍රහසන නාට්‍ය කියන සංකල්පය ඒ කාලේ ඉදන්ම තිබුණා. ලෝකය පුරා විවිධාකාරයෙන් ප්‍රහසන නාට්‍ය නිර්මාණය වී තිබෙනවා. ලංකාවෙත් එහෙමයි. නාඩගම් , නෘත්‍ය , ශෛලිගත , තාත්වික , නර්තනමය හා ප්‍රහසන නාට්‍ය නිර්මාණය වුනා. උදාහරණයක් ගත්තොත් සයිමන් නවගත්තේගම නිර්මාණය කරපු ‘සුභ සහ යස‘ නාට්‍ය ඒ කාලයේ නිර්මාණය වුනු ප්‍රභලතම දේශපාලන ප්‍රහසනයක්. ඒ නාට්‍ය හුඟක් ජනප්‍රිය වුණා. ඒ නිසා තමයි අදටත් ඒ නාට්‍යය වේදිකාවේ රඟ දැක්වෙන්නේ. ඒ නිසා මං විශ්වාස කරනවා ප්‍රහසන නාට්‍ය නිෂ්පාදන වීම හොඳ ප්‍රවණතාවක් කියලා. අද ගත්තොත් මේ ව්‍යාකූල වෙච්ච ජීවිතය ඇතුලේ මිනිස්සුන්ට අවශ්‍ය හිනාවෙලා ඉන්න.
* මේ කාලේ වේදිකා නාට්‍යකරුවන්ට තියෙන ගැටලු හැටියට ඔබ දකින්නේ මොනවද?
මොනම නාට්‍ය යක් වුණත් සංවිධානය කරද්දී ලොකුම ගැටලුව වෙන්නේ මේවා ගම් මට්ටමින් ප්‍රදර්ශනය කිරීමට ඇති ගැටලුවයි. දැන් ගත්තොත් ලංකාවේ වේදීකා නාට්‍ය සංවිධානය කරන සංවිධායකවරු ඉන්නේ දෙතුන් දෙනයි . හුඟක් නාට්‍ය ලංකාව පුරා යන්නේ මේ අය හරහා. එතනදීම ගැටළු නිර්මාණය වෙනවා. වැඩියෙන් ප්‍රේක්ෂකයන් ඉල්ලන නාට්‍ය කිහිපයක් තොරගෙන රට පුරා ප්‍රදර්ශනය වෙනවා . නමුත් ජනතාව ඉල්ලන විප්ලවීය අදහස් තියෙන ග්‍රාමීය තරුණ ප්‍රජාව අතරත් ඇතැම් නාට්‍ය සඳහා ඉල්ලීම් ලැබෙනවා. නමුත් මේවා ගම් මට්ටමින් ව්‍යාප්ත වෙන්න මං කලින් කියපු කාරණාව බලපානවා. මේ සඳහා යම් මැදිහත් වීමක් රාජ්‍යට කරන්න පුලුවන්නම් නාට්‍ය කලාවේ ප්‍රගමණයට මහත් රුකුලක් වේවි.
* ඔබ මෙතෙක් රඟපෑ නාට්‍ය අතරින් කැමතිම ප්‍රහසන නාට්‍ය මොකද්ද?
මම විවිධ ශෛලීන් රැගත් වේදිකා නාට්‍යවල රඟපලා තියෙනවා. ඒ හැම චරිතයකටම මම කැමතියි. මම වසර 27ක් පුරා මනමේ කුමාරයා වෙලා හිටියා. නමුත් ප්‍රහසනය කියන්නේ වෙනමම පැත්තක්. ප්‍රේක්ෂකයෙක් බලහත්කාරයෙන් හිනස්සන්න බෑ. මම ඒ අභියෝගය ජයගෙන තිබෙනවා. ඒනිසා තමා මම ප්‍රහසන හරහා ජනතාවට වඩාත් සමීප වුණේ. මම මටම අවේණික වූ ප්‍රහසන ශෛලයක් ගොඩනගා ගත්තා. ඒකට සුභ සහ යස නාට්‍ය තුළ මා රඟපෑ චරිතය බෙහෙවින් දායක වුණා.
* අපි මදක් වේදිකාවෙන් එළියට ගිහිල්ලා ඔබගේ වර්තමාන සිනමා දායකත්වය ගැන කතා කළොත්,
ඔව් මේ දවස්වල සුහද කොකා සිනමා නිර්මාණය හරහා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා. ඇත්තටම මෙයත් හාත්ස්‍යෝත්පාදක සිනමා නිර්මාණයක්. මේ තුළින් දේශපාලකයාට අපහාස කරනවාට වඩා ඔහු කරමින් ඉන්න දේ ගැන උපහාසයෙන් බැලීම තමයි සිදුවන්නේ. ඉතිං මම විශ්වාස කරනවා කර්මාන්තයක් විදියට ජනප්‍රිය සිනමාව මුහුණ දී ඇති තත්වය සලකා බැලුවාම යම් සාධනීය මැදිහත්වීමක් මේ සිනමා නිර්මාණය හරහා වුණා කියලා.
* පශ්චාත් යුද සමයේ නිර්මාණය වන නිර්මාණ දිහා බැලුවාම සැහීමකට පත්වෙන්න පුලුවන්ද?
යුදමය සමයේ මිනිස්සු ගොඩාක් මානසික පීඩනයට ලක් වුණා. ඒ අයගේ මනස සකස් කරනවා කියන්නේ ඉතාම අමාරු කාරණයක්. වැඩකරන ජනතාව ගත්තත් මධ්‍යම පාන්තිකයා ගත්තත් මේ අය ඉන්නේ මේ ක්‍රමය ඇතුළේ හෙම්බත් වෙලා. ඉතිං ඒ අයට තියෙන පීඩනයත් එක්ක ප්‍රහසන නිර්මාණ තුළින් යම් සහනයක් ලැබෙනවා. ඒ නිසා තමයි දේශපාලනමය වශයෙන් නිෂ්පාදනය වන කොතරම් හොඳ නිර්මාණ තිබුණත් ඒවට එතරම් දුර යන්න අමාරු. ලංකාවේ දැන් තියෙන තත්වයත් එක්ක ඒවා පවතින්නේ ඉතාම සුළු කාලයයි. වැඩිය අවශ්‍ය නෑ. අපි පිට රටකට ගියාම වුණත් ඒ අය කැමති හාස්‍ය රසය තියෙන නාට්‍ය හෝ නිර්මාණ දැක ගන්න.
* මෙතෙක් ආ මඟ දිහා ආපහු හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?
ආපහු හැරිලා බලනකොට මම හුඟාක් සතුටු වෙනවා මේ ආපු ගමන ගැන. 1966 ඉදන් 2016 වෙනකම් වසර 50ක ඉතිහාසය තුළ වේදිකාව , සිනමාව හා ටෙලිනාට්‍ය තුළ මේ දක්වා රැඳිලා ඉන්න පුලුවන් වීම ගැන. තාමත් මට ආරාධනා ලැබෙනවා විවිධ චරිත රඟපාන්න. වේදිකාව , සිනමාව හා ටෙලිනාට්‍ය මේ කොයි ආකාරයේ මාධ්‍යයක වුවත් මට තවමත් ඉඩක් තියෙනවා. ඒ කියන්නේ මං යමක් කලා කියන සතුට මගේ හිතේ තියෙනවා.
* සමහරු තමන්ගේ දරුවෝ කේෂත්‍රයේ ජනප්‍රිය කරවන්න කැන්දාගෙන එන සමයක ඔබ එසේ නොකරන්නේ ඇයි?
ඔව් ඇත්තටම මම හිතනවා මම හොඳ පියෙක් කියලා. මගේ දරුවන්ටත් කලාව පිළිබඳව ඇල්මක් තිබුණා. ඒ තමන්ගේ දේමාපියන් කලා කේෂත්‍රයට සම්බන්ධ නිසා. ඒත් ඔවුන් රැල්ලට නොගොස් ඔවුන්ගේම ජීවන විලාසිතාවක් තෝරාගත්තා. මට ඒ ගැන සතුටුයි. දුව නවංජනා මිහිරාණි දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා. ඇයටත් දැන් දුවෙක් ඉන්නවා. පුතා ගුවන් නියමුවෙක් වෙන්න ඇමරිකාවේ අධ්‍යාපන කටයුතු වලට යොමු වේලා දැන් එය අවසන් කර නැවත ලංකාවට ඇවිත් ඉන්නවා. ලංකාවේ කලාව කරන්න පුලුවන් ඇගේ හයිය තියෙනකන් විතරයි. කටේ හයිය තියෙනකන් විතරයි. එතනින් එහාට කලාකරුවෙකුට යන්න තැනක් නෑ. ඒ නිසා ඇගේ හයිය තියෙනකන් කාටවත් බරක් නොවී කීයක් හරි හොයාගන්න ඕන. ඉතිං මං මේ කුටුම්බයත් එක්ක සන්තෝසයෙන් ජීවත් වෙනවා.
සටහන -රසික නිලන්ත
(දිනමින)
Sunday, February 7, 2016
මනමේ කුමාරයා සුහද කොකා වුණේ ඇයි?
Tags
# කලා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
කලා පුවත්
Labels:
කලා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment