ලෝකයේ භයානකම මිනිසා ඔස්කාර් රතු පලස වෙත රැගෙන ආ ගැහැනිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 21, 2016

ලෝකයේ භයානකම මිනිසා ඔස්කාර් රතු පලස වෙත රැගෙන ආ ගැහැනිය

ඕනෑම පුවතක් ආරම්භ වෙන්නේ පුංචිම පුංචි ගොසිප් එකකින් කියල ලෝරා දන්නවා. වාසනාවකට හෝ අවාසනාවකට ඇය හඹාගෙන ඇය ගියේ ටිකක් භයානක ගොසිප් එකක්. 
 
මේ ගොසිප් එකට අනුව ඇමෙරිකාවේ ආණ්ඩුව හෝ ජාතික ආරක්ෂක ඒජන්සිය රටේ ජනතාවගේ පෞද්ගලික ඊමේල් ලිපිනයන්ට සහ දුරකථන ඇමතුම්වලට සවන්දෙනවා.මේ ගැන හෙළිදරව්වක් කරන්න ඇය තොරතුරු ගවේෂණය කරමිනුයි සිටින්නේ.

භයානක ගොසිප් එකක්
 

ඒ වසර 2013 මුල් භාගය ලෝරා සුපුරුදු පරිදි ඇගේ කොම්පියුටරයේ වැඩ කරමින් ඉන්නවා. හිටි අඩියේම නන්නාඳුනන්නෙක් ඇයට ඊමේල් පණිවුඩයක් එවනවා. “ඔබට ඉතා වැදගත් රහසක් කීමට මට අවශ්‍යයි. හැකිනම් මාව හමුවෙන්න. මේ පණිවුඩය ඇගේ කාර්ය බහුල ජීවිතය ඇතුළෙ අමතක වෙලා යනවා. 

මාස තුනකට පස්සේ ආයෙත් මේ පණිවුඩය ඇගේ ඊමේල් අතරින් මතුවෙනවා. ඉන්පසු සතිපතාම පාහේ ඇයට නන්නාඳුනන ඊමේල් ආරාධනය එනවා. එක් නිශ්චිත මොහොතක ඇය තීරණය කරනව මේ නන්ඳුනන ඊමේල් එක සමග සම්බන්ධ වෙන්න. ඊමේල් එකේ තියනව දිග විස්තරයක්. 

ඇමෙරිකාවේ ඛිඒ සංවිධානය පෙන්ටගනය සහ ජාතික ආරක්ෂක ආයතනය එකතුවෙලා ලෝකය පුරා රාජ්‍ය නායකයන්ගේ විශේෂ පුරවැසියන්ගේ දත්තවලට හොරෙන් සම්බන්ධ වෙන ඩොලර් කෝටි ගණනක ව්‍යාපෘතියක් ගැන විස්තර ලිස්ට් එකක්. 

 එසේම මෙම ඔත්තු බැලීමේ ජාලයට අහුවෙන්නෙ නැතිව වැඩ කළ හැකි සොෆ්වෙයාර් එකක විස්තරත් ඒ පණිවුඩයේ තියෙනවා. ‘මට මේ සියලු තොරතුරු ඔප්පු කර පෙන්නන්න පුළුවන්’ තවදුරටත් ඒ පණිවුඩය කියනවා.
අමාරු ජීවිතය තෝරා ගැනීම

ඉස්සෙල්ලාම ලෝරාගේ හිත ගල්ගැහෙනව. මේ හෙළිදරව්ව ඇත්ත නම් ඒක මනුෂ්‍යත්වය පිළිබඳ ප්‍රශ්නයක් ඒ වගේම එම ආරංචියේ අනෙක් පස සිටින්නේ බලවත් රාජ්‍ය එකක් නමෛයි, කිහිපයක් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ලෝරා වගේ කෙනෙක් අතුරුදන් කිරීම ඔවුන්ට සුළු දෙයක් ඊළඟට ලෝරාට කල්පනා වෙන්නේ තමන් ගැන මේ පුවතත් එක්ක තවදුරටත් වැඩ කළොත් ඇයට ඇගේ සරල සාමකාමී ජීවිතය නැති වී රාජ්‍යයේ සතුරෙක් විදියට අමාරු ජීවිතයක් ගතකරන්න වෙන බව ඇයට හිතෙනවා. 


ඒත් ඇය මාධ්‍යවේදිනියක්. ඒක නිසා ඇය අමාරු ජීවිතයම තෝරා ගන්නවා. ලෝරාගේ විමර්ශනයට තව කෙනෙක් හවුල් වෙනවා. ඒ තමයි ඇගේ මිතුරෙක් සහ බ්‍රිතාන්‍යයේ ගාර්ඩියන් පුවත්පතේ කතුවරයෙක් වන ග්‍රීන්වල්ඩ්. දෙදෙනා එකතුවී නාඳුනන මිතුරා එවන ලද පණිවුඩ එකින් එක විවර කරනවා ඔවුන් මේ හැප්පෙන්නට යන්නේ ලෝකයේ ඉන්න ලොකුම මිලිටරි සහ බුද්ධි අංශය එක්ක කියලා ඇය නොදන්නවා නොවේ. ඇය මීට පෙර සිතූ ලෙසම ජීවිතය අමාරු සහ වෙනස් වෙන්න පටන් ගන්නවා.



ඇය ඇගේ ජංගම දුරකථනයේ සියලුම දත්ත මකා දමා, ක්‍රියා විරහිත කොට සඟවා තබනවා. ඇය සන්තකයට තිබුණේ පුංචි වීඩියෝ කැමරාවක් සහ සටහන් ‍පොතක් පමණයි. පුංචි කාලෙ ඉඳලම ඇයට තිබුණ පුරුද්දක් යන යන තැන සටහන් ‍පොතක් රැගෙන යාම සහ සිදුවෙන සියලු දේවල් සටහන් කර ගැනීම ඇගේ විමර්ශන සගයා ග්‍රීන්වල්ඩ් සමග ගනුදෙනු කිරීමට යොදාගත්තේ රහස් සංකේත ක්‍රමයක්. පාවිච්චි කරේ ‍පොදු දුරකථන කුටි සහ අන්තර්ජාල කුටි.

නන්නාඳුනන තැනැත්තෙක්

මේ සියලුම අවදානම් අස්සේ නන්නාඳුනන තැනැත්තාගේ තොරතුරු ලෝකයට මුදා හැරීමට ඔවුන් තීරණය කරනවා. ඒ අනුව ලන්ඩන් ගාර්ඩියන් පුවත්පතේ සහ ඇමෙරිකාවේ තව පුවත්පත් කිහිපයක, ජනතාවට එරෙහිව ඔත්තු බැලීමේ රාජ්‍ය කුමන්ත්‍රණය ගැන තොරතුරු පළ වෙනවා. ඊට පස්සේ සිතූ පරිදිම ලෝකය ඇවිස්සෙනවා. මේ අතර ජාතික ආරක්ෂක ඒජන්සිය තම රහස් පිටවුණු ආකාරය සෙවීමට විශේෂ මෙහෙයුමක් දියත් කරනවා. 


මේ මෙහෙයුමට වසන්වෙලා ඉන්න තරම් ලෝරා සහ ග්‍රීන්වල්ඩ් සමත්වෙයිද කියන ප්‍රශ්නය ඔවුන්ටම ඇති වෙනව.
අපි දෙන්නගෙන් කවුරුහරි අතුරුදහන් වුණොත් අනෙකා ගැන හොයන්න එපා. දිගටම වැඩේ කරගෙන යන්න. දෙන්නම තීණයකට එළඹෙනවා. තත්ත්වය ඒ තරම් හොඳ නෑ. මං ගැන ආරංචියක් නැත්නම් හොයන්න මහන්සිවෙන්න එපා. ඇය ඇගේ පවු‍ලේ සාමාජිකයන්ටත් පණිවුඩයක් යවනවා.

ඔත්තුකාරයන්ගේ උකුසු ඇස

ලෝරා සහ ග්‍රීන්වල්ඩ් වෙත ජාතික ආරක්ෂක ඒජන්සියේ ඔත්තුකාරයන්ගේ උකුසු ඇස යොමු වී ඇති බව ඔවුන්ට දැනෙනවා ඇය යන එන පසුපස හොරගල් අහුලන මිනිසුන් ගැන, මග තොටේදී අහම්බෙන් මෙන් ඇගේ මග අහුරන මිනිස්සු ගැන ඇය තම දින ‍පොතේ සටහන් කරගන්නවා. මේ අතර ලෝරා සහ ග්‍රීන්වර්ල්ඩ් එකිනෙකා රහසින් හමුවී ඉදිරි හෙළිදරව් කිරීම් ගැන කතා කරගන්නවා. 


මැක්ඩොනල්ඩ් අවන්හ‍ලේ ‍පෝලිමේ ඉන්න ගමන් එහෙමත් නැතිනම් කාර්ය බහුල දුම්රිය ‍පොළවල්වල පත්තර බලන ගමන් අහම්බෙන් හමුවුණු මිනිසුන් වගේ ඔවුන් සාකච්ඡා කරනවා. මේ අතර තවත් සිදුවීමක් සිදුවෙනවා. සැබවින්ම සිදුවීම් වැලකට තවත් එක් පුරුකක් එකතුවෙනවා. තමන්ට ලැබෙන පුවත් තහවුරු කරගැනීම උදෙසා ඇය හමුවෙන සෑම කෙනෙක්ම පසුපසම ජ්ඕ එක ලුහුබඳින්න පටන් ගන්නවා. 

සමහරුන්ගේ ගෙවල් අදිසි සෝදිසි කිරීම්වලට ලක්වෙනවා. ආරක්ෂක ඒජන්සියේ හිටපු නිලධාරියෙක් වන විලියම් බිනී එවැන්නෙක් ලෝරා ඔහුව හමුවුන දාට පසුදා නන්නාඳුනන පිරිසක් ඔහුගේ ගෙදර සෝදිසි කරවා. තවත් ඇය හමුවුණු අයෙක්, නන්නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් මුදා හරිනවා.

නන්නාඳුනන පණිවුඩයක් ආයෙත් 



නන්නාඳුනන පණිවුඩයක් ආයෙත් ලෝරාට එනව. ‘මං හින්දා අහිංසක මිනිස්සුන්ට කරදර සිද්ධවෙන පාටයි. මං ප්‍රසිද්ධියේ මේ සියලු තොරතුරු හෙළිදරවු කරල රටින් පලා යනව. කරුණාකරලා අහවල් දා හොංකොංවලට එන්න.” හොංකොංවලදී ඔහු මේ එළිදරව්ව කළොත් එදාට ලෝකය හෙළවෙන බව ඇය දන්නවා. ඒත් ඔහුට රටින් පිටවෙන්න පුළුවන් වෙයිද? ඇමෙරිකාවේ සිරගෙයක් තුළදී ඔහුගේ ජීවිතය කෙළවර වේවිද? 

ලෝරාට සහ ග්‍රීන්වර්ල්ඩ්ට හොංකොංවලට යන්න පුළුවන් වේවිද? මේ තැනැත්තා දැනටමත් අත්අඩංගුවට පත් වෙලාද? මේ පණිවුඩය ඔවුන්ව අල්ලා ගැනීමට අටවපු උගුලක්ද? කෙසේ වෙතත් මේ දවස්වල අමාරු දේවල් ඇතුළෙම ජීවත්වෙන ලෝරා නිව්යෝක් ගුවන්තොටු‍පොළ වෙත යනව. ඇගේ ගමනාන්තය තමයි හොංකොං ගුවන්තොටු‍පොළේදී ඇයව රඳවා ගෙන ප්‍රශ්න කරනවා. 

ගුවන් තොටු‍පොළවලදී දිගු ප්‍රශ්න කිරීම්වලට, රඳවා ගැනීම් වට හුරුවී සිටින ලෝරා මේ සිදුවීම් තම සටහන් ‍පොතේ ලියා ගන්නවා. කැමරාව එළියට අරගෙන වීඩියෝ කරගන්නවා. එක් නිලධාරියෙක් ඇගේ ලිවීම නතර කිරීමට අත් දෙකට මාංචු දැමීමට සැරසෙනවා. තවකෙක් ඇගේ වීඩියෝ කැමරාව උදුරා ගැනීමට සැරසෙනවා. මේ සියල්ලටම ඇය තනිවම මුහුණ දෙනවා.

මවිත කරවන හෙළිදරව්වක්

ඇය ලෝකයේ බොහෝ රටවල්වලට පියාසර කොට ඇතත් මේ තමයි ඇය ගමන් කරන වෙහෙසකරම ගුවන් ගමන. තවමත් ඇයට තියෙන්නේ දෙගිඩියාවක්,ලොව මවිත කරවන හෙළිදරව්ව කොහෙන් කෙළවර වේවිද? ග්‍රීන්වල්ඩ් එන්නේ වෙන ගුවන් යානයක. ඔවුන් දෙදෙනාම සාමාන්‍ය පුද්ගලයන් දෙදෙනෙකු වගේ වෙන වෙනම හොංකොං හෝටලයට යනවා. කලින් කතිකා කරගත් පරිදි දෙදෙනාම නාඳුනන සගයා සිටින කාමරයට ඇතුළු වෙනවා.

‘හලෝ... මම ස්නෝඩන්. එඩ්වඩ් ස්නෝඩන්.’

‘හලෝ... මම ස්නෝඩන්. එඩ්වඩ් ස්නෝඩන්.’
වයස විසිපහක් විතර වෙන තරුණයෙක්, බැරෑරුම් පෙනුමක් තියෙන කෙට්ටු තරුණයෙක් ඔවුන් ඉදිරියේ සිටගෙන ඉන්නවා. කිසිවෙක් කිසිවක් කතා නොකරන නිමේෂයක් පහු වෙනවා. මහා හෙළිදරව්වක් කරන්න යන්නේ මේ වගේ තරුණයෙක්ද? ස්නෝඩන් වැඩිය කතා කරන්නේ නෑ. නමුත් ලෝරාට ඔහුගෙන් අහන්න ගොඩක් දේවල් තියනව.



“ඔයා ඇයි මේ දේවල් එළිදරව් කරන්න හිතුවේ” ලෝරාගේ කැමරාව ක්‍රියාත්මකයි.
“මේවායේ තියන දේවල් දැක්කම මම ෂොක් වුණා”
තමාට රැඳී සිටින්න එතරම් වෙලා නැති බව ස්නෝඩන් කියනවා. ඔහු තමන් සතු සියලු ලියකියවිලි, පරිගණක දත්ත ලෝරාට බාර දී ඔවුන්ගෙන් සමුගෙන කාමරයෙන් පිට වෙලා අතුරුදන් වෙනවා. මේ තමයි ලෝරා සහ ස්නොඩන් හමු වෙන අන්තිම අවස්ථාව. ඊට පස්සේ ඔහු ආයෙත් ලෝකය ඉස්සරහට එන්නේ මොස්කව් ගුවන් තොටු‍පො‍ලේ දී රුසියාවේ දේශපාලන රැකවරණ පැතීමට කලින්.

රහස් තොරතුරු කන්දරාවක්

ඊළඟ මොහොතේම ලෝරා සහ ග්‍රීන්වර්ල්ඩ් මේ පුවත ලෝකයට මුදාහරිනවා. ලෝකය ඇවිස්සී ස්නෝඩන් ගැන හොයනවා. ඒත් ස්නෝඩන් අතුරුදන්. ලෝරා සහ ග්‍රීන්වල්ඩ් හොංකොං ගුවන් තොටු‍පො‍ලේ තනිවෙනවා. ඔවුන් අත තියෙන්නේ ස්නෝඩන් විසින් ලබාදුන් රහස් තොරතුරු කන්දරාවක්. මේවා සමග නිව්යෝක් ගුවන් තොටු‍පොලෙන් ගොඩබහින්න පුළුවන් වේවිද කියන දෙගිඩියාවක් ඔවුන්ට තියනවා. 


සමහරවිට මේ දත්ත සියල්ල ඔවුන් අත්අඩංගුවට ගන්න පුළුවන්. අවසානයේ ඔවුන් තීරණය කරනවා බ්‍රසීලයේ රියෝ-ද-ජනයිරෝ නගරයට යන්න. රියෝ කියන්නේ ග්‍රීන්වර්ල්ඩ්ගේ උපන් ගම. රියෝවල ඈත කෙළවරක ඔහුට තියනව පුංචි ගෙයක්. මේ ගෙදර ඉන්නේ ග්‍රීන්වර්ල්ඩ්ගේ සහකරුවා සහ බල්ලන් දහයක් පමණයි. බල්ලන්ට සහ මිනිසුන්ට සම තැනක් හිමිවුණු මේ ගෙදර සිට ලෝරා සහ ග්‍රීන්වර්ල්ඩ්, ස්නෝර්ඩන්ගේ තොරතුරු එකිනෙක විශ්‍ලේෂණය කරනවා. 

ඒවා ලෝකය පුරා බෙදාහරිනවා. ලෝරාගේ වචන; ‘මට හිතෙනව අපි ඇමෙරිකාවටවත්, ලෝකයේ කිසිම රටකටවත් අයිති නැති දෙන්නෙක් කියල. බැලූ හැම තැනම අහිංසක හුරුබුහුටි බල්ලන් වැතිර ඉන්නවා. උන් අතර අපි නොපෙනී ගිහින්. කුස්සිය හැඩි වෙලා, ඒත් කෑමටවත් වෙලාවක් මිඩංගු කරන්න අපට බෑ. බිය, චකිතය විසින් අපේ බඩගින්න අතුරුදන් කරල. ස්නෝඩන් ගැන මගේ හිත කරදරයි. ඔහු ගැන කිසිම ආරංචියක් නෑ. ඒත් මට වැටෙන්න අයිතියක් නෑ. මට මා විසින්ම පවරගත්තු වැඩ කොටසක් ඉවර කරන්න තියනව.

මම ඉක්මන් වෙන්නේ නෑ.

කාලය ගෙවිල යනව. මේ අතර ස්නෝඩන්ට රුසියාවේ රැකවරණය ලැබුණු බව ආරංචි වෙනවා. හෙළිදරව්වල උණුසුම මදක් පහව යනවා. ඇය ඇගේ උපන් බිම වන ජර්මනියට යනවා. හරියටම අවුරුද්දකට පසුව තම පවු‍ලේ අය, සමීපතයන් ආදරයෙන් වැළඳ ගන්නවා. ඉන්පසු ඇයගේ ‘සිටිසැන්ෆෝ’ වාර්තා චිත්‍රපටය සංස්කරණය කිරීමට පටන් ගන්නවා.
මෙම වැඩසටහනට ඔස්කාර් සම්මානය ලැබුණු පසු එක් වාර්තාකරුවෙක් ඇගෙන් අපූරු ප්‍රශ්නයක් අහනවා. 


ඔබ රාජ්‍යට එරෙහිව විශාල හෙළිදරව්වක් කිරීමට දායක වුණු කෙනෙක්. ඒත් අද ඒ රාජ්‍යයේම ආයතනයක් විසින් ඔබව ඇගයීමට ලක්වෙනව. ඔබට මේ ගැන හිතෙන්නේ මොනවද? මේ අවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදය හෝ විනිවිදභාවය කියල කියන්න මම ඉක්මන් වෙන්නේ නෑ. ඒත් උත්සාහය සහ අවශ්‍යතාව තියෙනව නම් ඕනෑම හැඩිදැඩි පරිසරයක වුණත් මාධ්‍යවේදියෙකුට කොච්චර දුර යන්න පුළුවන්ද කියල මේ සිදුවීම්වලින් පේනවා.

සරද සමරසිංහ

No comments:

Post a Comment

Post Bottom Ad