බෙදී ඉල්ලුවොත් ශ්‍රීලනිපය කපෝති ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 16, 2016

බෙදී ඉල්ලුවොත් ශ්‍රීලනිපය කපෝති !

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට සම්බන්ධ දේශපාලන නියෝජිතයන් වෙනත් පක්‍ෂයක්‌ හෝ පෙරමුණක්‌ සැදුවහොත් එහි වාසිය හිමිවන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයට යෑයි ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා පැවසීය.

එනිසා වගකීමක්‌ ඇතිව, දූරදර්ශීව කටයුතු කරන කිසිම ශ්‍රීලනිප නියෝජිතයකු වෙනත් පක්‍ෂයක්‌ හෝ පෙරමුණක්‌ සෑදීමට කල්පනා නොකළ යුතු යෑයිද අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වෙනත් පක්‍ෂයකින් තරග කරන බවට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පෙරේදා (14 දා) කොළඹදී මාධ්‍ය හමුවක්‌ පවත්වමින් කළ ප්‍රකාශය පිළිබඳව අදහස්‌ දක්‌වමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

වාසිය එජාපයටයි :

වෙනත් පක්‍ෂයකින් තරග කිරීමෙන් සිදුවන්නේ ශ්‍රීලනිපය දුර්වල වීම බවත් එනිසාම රජයේ ඇමැතිකම් ලබාගෙන සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වෙන් නොවී ඉදිරි මැතිවරණවලට එක්‌ව තරග කිරීමෙන් ශ්‍රීලනිපය ජයග්‍රහණය කරවිය හැකි යෑයිද ඇමැති සෙනෙවිරත්න මහතා පැවසීය.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය බෙදී නැතත් පිල් දෙකක සිටින පාර්ශ්ව එක මිටට ගොනුවිය යුතු යෑයිද එසේ නැතහොත් එහි වාසිය අනිවාර්යයෙන්ම එජාපයට හිමිවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ තරග කරද්දී එය ජයග්‍රහණය කිරීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේද සහාය අවශ්‍ය බවත් එම පාර්ශ්ව දෙක අතර එකඟතාවයක්‌ ඇතිකිරීමේ කතිකාවක්‌ ඇති විය යුතු බවත් ඇමැති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රීලනිපය කඩන්නේ එජාපය දිනවන්නයි

මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පැවසුයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවර මට්ටමේ පිරිසක් වුවද වෙනත් පක්ෂයක් හැදුවහොත් එහි නියත ප්‍රතිඵලය වනු ඇත්තේ මීළඟ පළාත් පාලන ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය බවයි.

ශ්‍රීලනිපයට දැන් අවශ්‍ය වී තිබෙන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒකාබද්ධ කරගෙන යන ගමනක් බව කී හෙතෙම එජාපයේ ජයග්‍රහණයට කැමැති අය වෙත්නම් ඔවුන්ට අලුත් පක්ෂයක් ආරම්භ කළ හැකි බව කීවේය.

ඒකාබද්ධ විපක්ෂය තුළ දේශපාලන ජුදාස්ලා තවත් නැතැයි එහි ජාතික සංවිධායක ඩලස් අලහප්පෙරුම මහතා පැවැසුව ද දේශපාලනයෙහි වෙනස් වන ස්වභාවය අනුව ඇමැතිකම් වෙනුවෙන් ආණ්ඩුවට එකතු වන්නන් තවත් සිටීමට ද බැරිකමක් නැති බව ද වික්‍රමනායක මහතා වැඩිදුරටත් පැවැසීය.

No comments:

Post a Comment

Post Bottom Ad