එදින ප්‍රතිඵල නිකුත් කරමින් තිබියදී හදිසියේ ඇඳිරිනීතිය පැනවීමේ සූදානමක් තිබූ බවද මාධ්‍ය හිමිකරුවන් සහ ප්‍රවෘත්ති ප්‍රධානීන් අද මුණගැසුණු අවස්ථාවේ ජනාධිපතිවරයා සඳහන් කළා.
ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී අරලියගහ මන්දිරයේදී කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූයේ දැයි ප්‍රවෘත්ති ප්‍රධානියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ කුමන්ත්‍රණය යන වචනය තමා ඊට භාවිතා නොකළත්, යම් සාකච්ඡාවක් ඔස්සේ කිසියම් තීන්දුවක් ගැනීමේ සූදානමක් එහි තිබූ බවයි.
රටේ ඇතැම් ස්ථානවල එල්.ටී.ටී.ඊ. කොඩි ප්‍රදර්ශනය කර තිබූ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රධානියෙක් ජනාධිපතිවරයාගෙන් විමසුවා. හිටපු ජනාධිපතිවරයා දෙයියන්දර ප්‍රදේශයේ පැවති ඊයේ පැවති උත්සවයකදී අදාළ ප්‍රකාශය කර තිබුණා.
අදාළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ සෑම පැය 24කට වරක්ම බුද්ධි අංශ රටේ ආරක්ෂාව පිළිබඳව තමා දැනුවත් කරන බවයි. එවැනි කොඩි ප්‍රදර්ශනයක් පිළිබඳ කිසිවක් වාර්තා නොවන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. එවැනි කොටි කොඩි පෙනෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පමණක් විය හැකි බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ.
මේ අතර විශ්වාසභංගයක් ගෙන ඒමේ අයිතිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත සිදුවන්නක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා. ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ අදහස් දක්වමින්.
අදාළ විශ්වාසභංග යෝජනාව ජනාධිපතිවරයාගේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාව මත ගෙන ආවේ දැයි ප්‍රවෘත්ති ප්‍රධානියෙකු මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසා සිටියා. පක්ෂය එවැන්නක් තීරණයක් නොගත් බවයි ජනාධිපතිවරයා පැවසුවේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ඇතැම් පාර්ශ්ව කරන ප්‍රකාශ ගැන ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් යොමු වුණා.
එහි කටයුතු සම්බන්ධයෙන් ද පක්ෂය තීන්දුවක් ගෙන නැතැයි ජනාධිපතිවරයා කියා සිටියා. එම පොලිස් ඒකකය සම්බන්ධයෙන් තමා අගමැතිවරයා සමග ද සාකච්ඡා කළ බව පැවසූ ජනාධිපතිවරයා ඊට අදාළ ගැසට් නිවේදනයේ සංශෝධන සඳහා අගමැතිවරයාට යෝජනා ඉදිරිපත් කළ බවද කියා සිටියා.
No comments:
Post a Comment