ඉදිරි මැතිවරණයට බ්‍රේල් ඡන්ද ක්‍රමය එයි - ඡන්ද දායකයින්ට නව පහසුකම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 29, 2015

ඉදිරි මැතිවරණයට බ්‍රේල් ඡන්ද ක්‍රමය එයි - ඡන්ද දායකයින්ට නව පහසුකම්

ඇස් නොපෙනෙන ඡන්ද දායකයන් සඳහා බ්‍රේල් ක්‍රමයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් ඉදිරියේ ඇති කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ආබාධිත සහිත හා වැඩිහිටි තැනැත්තන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ පහසුකම් සැපයීමේ ජාතික වැඩපිළිවෙළක් ලබන මැතිවරණයේ සිට ක්‍රියාත්මක කරන බව අද (29) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමසාරිස්වරයා මේ බව පැවසීය.

කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ග්‍රාම නිලධාරීන් හරහා මෙරට ආබාධිත හා දෘෂ්‍යාබාධිත පුද්ගයින් පිළිබඳ තොරතුරු රැස් කරන බවයි.
පඩිපේළිවලින් ගමන් කිරීමට තිබෙන ඡන්ද මධ්‍යස්ථාන සඳහා එම ඡන්ද මධ්‍යස්ථානයට ඇතුල්වීමේ ගේට්ටුව ළඟ ඡන්දය ප්‍රකාශ කිරීමේ ස්ථානයක් සකස් කිරීම සිදු වන බවත් ඉදිරියේදී සෑම කෙනෙකුටම පහසුවෙන් ප්‍රවේශ විය හැකි ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවත් කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

මීට අමතරව ඡන්ද මධ්‍යස්ථානයේ පිවිසුම් ස්ථානයේ සිට ඡන්දය ලකුණු කිරීමේ ස්ථානයට වැඩිදුර ප්‍රමාණයක් ගමන් කිරීමට තිබෙන විට විශේෂ අවසරයක් මත එම ස්ථානය වෙත යාමට පෞද්ගලික වාහනයක් භාවිත කළ හැකිය.

මීට අමතරව ඊළඟ මැතිවරණයේදි රජයේ වියදමින් ඡන්දය මධ්‍යස්ථානයේ පිවිසුම් දොර ළඟ සිට ඡන්දය ලකුණු කිරීමේ ස්ථානයට යාම සඳහා ත්‍රීරෝද රථයක් යෙදවීමට අපේක්ෂා කරන බව ද කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.

මේ වන විට ඡන්ද දායකයින්ගෙන් 15%ක් එනම් පුද්ගලයින් ලක්ෂ 10ක් ආබාධිත හා වැඩිහිටි තත්ත්වයේ පසුවන බවත් 2030 වන විට වැඩිහිටි ජනගහනයේ වර්ධනයත් සමඟ එය 25% දක්වා වැඩිවන බවට වාර්තා වන බවත් ඔහු පැවසීය.

මේ වන විට ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ සියලුම ඡන්ද මධ්‍යස්ථාන ආබාධිත හා වැඩිහිටියන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ආකාරයෙන් සකස් කර තිබෙන බව ඌව පළාත් සභා මන්ත්‍රී සෙනරත් අත්තනායක මහතා පැවසීය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad