රට පාවාදෙන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණ මැතිවරණ නීතියට හසුනොවන්නේ ඇයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 24, 2014

රට පාවාදෙන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණ මැතිවරණ නීතියට හසුනොවන්නේ ඇයි

මේ රටේ මැතිවරණ නීතියට අනුව උදලු තල බෙදාදීම මැතිවරණ අල්ලසක් වේ නම් සමහර අපේක්ෂකයන් උතුරේ දෙමළ ජනතාවගේ ඡන්ද  ලබාගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය සමඟ හොර ගිවිසුම්වලට එළඹීම මැතිවරණ නීතියට අනුව  දේශපාලන අල්ලස් නොවේද? යන්න ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රශ්න කරයි.

උතුරෙන් හමුදාව 50% ක් ඉවත් කිරීම, උතුරට ඉඩම් හා පොලිස් බලතල ලබාදීම සඳහා  දෙමළ ජාතික සන්ධානය සමඟ සමහර අපේක්ෂකයන් හොර ගිවිසුම් ගැසීමද මේ රටේ මැතිවරණ නීතියට අනුව ආවරණය විය යුතු බව ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 

අමාත්‍යවරයා මෙම අදහස් පළ කොළඹදී පැවති උත්සවයක් අමතමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “   අපේ රටේ මැතිවරණ නීතියට අනුව උදලු තල බෙදාදීම දේශපාලන අල්ලසක් වෙනවා. 

හැබැයි අද සමහර අපේක්ෂකයන් උතුරේ දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ටික ගැනීමට ඒ සන්ධානය සමඟ විවිධ හොර ගිවිසුම් ගහනවා. උතුරේ සිටින හමුදාව 50% ක් ඉවත් කරගැනීම, උතුරට ඉඩම් පොලිස් බලතල ලබාදීම සහ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තවදුරටත් බලාත්මක කිරීම සඳහා (13+) විවිධ ගිවිසුම්වලට එළඹෙනවා. 

එක්තරා ජන කණ්ඩායමක ඡන්දය ලබාගැනීම සඳහා ලබාදෙන දේශපාලන අල්ලස් මැතිවරණ නීතිය යටතේ ආවරණය විය යුතු නොවේද? උදලු තල බෙදා දීලා දෙන අල්ලස් වගේ නෙමෙයි, මේ අල්ලස රට බිලිදෙන අල්ලසක් බව රටේ ජනතාව අවබෝධ කරගත යුතුයි.

කාලයෙන් කාලයට බලයට පත්වූ විවිධ නායකයින් රට බිළිදෙන මෙවැනි අල්ලස් ලබාදීම නිසා රට තුළ තිස් අවුරුදු යුද්ධයක් ඇතිවුණා. විවිධ ජන කොටස්වල ඡන්දය ලබාගැනීමට  රට පාලනය කරපු නායකයින් විවිධ ගිවිසුම් ගැහුවා. දිස්ත්‍රික් සංවර්ධන සභා නිර්මාණය වුණා.  රට සභා නිර්මාණය වුණා. ඒ වගේම පළාත් සභා ද නිර්මාණය වුණා. 

අල්ලස් දේශපාලනය හා කප්පම් දේශපාලනය  නිසා මේ රට නැත්තටම නැති වුණා. රට අස්ථාවර වුණා. ඒකීයභාවය බිඳ වැටුනා. නැවත අපට අවශ්‍ය කරන්නේ එවැනි යුගයක්ද? ජාතිවාදී කල්ලිවල ඉල්ලීම් ඉටු කරන යුගයක් අපට දැන් අවශ්‍ය නැහැ. අපේ ආරක්ෂක හමුදා සාමාජිකයින් දිවිපුදා ලබාදුන් නිදහස නැවත වරක් බෙඳුම්වාදයට බිළිදීමට මේ රටේ මහජනතාව සූදානම් නැති බව අපට විශ්වාසයි.

රටට අහිමි වූ ඒකීයභාවය නැවත රට තුළ ස්ථාපිත කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බව අප දන්නවා. එතුමා බලයට පත්වන විට උතුරු හා නැගෙනහිර තිබුණේ වෙනම නීතියක්.   හැබැයි එක් ධජයක් යටතේ එක් නීතියක් අද සමස්ථ රට තුළම ක්‍රියාත්මක වෙනවා. යුද්ධයෙන් පසුව ගෙවුණු  වසර හතරක කාලය තුළ රටේ භෞතික සංවර්ධනයේ ගුණාත්මක දියුණුවක් සිදුවී තිබෙනවා. 

යටිතල පහසුකම් සංවර්ධනය අතින්ද රට ප්‍රගතිය කරා එළඹ තියෙනවා. ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත වරක් ආරම්භ වී තියෙනවා. ඒ වගේම ඉදිරියේදී නව කර්මාන්ත ශාලා 300 ක් ගම්මාන 300 ක් මූලික කරගෙන ආරම්භ කෙරෙනවා. මේ විදිහට සාමය හා ස්ථාවරභාවය සමඟින් විදේශ රටවලට යටත් නොවී රට ඉදිරියට ගමන් කරනවා. 

ඒ ගමන ආපස්සට හැරවීමට උත්සාහ දරණ බෙඳුම්වාදී කල්ලිවල උවමනා එපාකම් ඉටුකිරීමට රටේ මහජනතාව සූදානම් නැහැ.  රනිල් වික්‍රමසිංහලා,  චන්ද්‍රිකා නෝනලා එකට එකතු වී රටට සිදු කරන්න යන විපත ජනතාව දකිනවා. ඒ නිසා ඒ අවුල් හවුලට, රට නැවත වරක් අවුල්  සහගත තත්ත්වයකට පත්කිරීමට ඉඩදීමට අප සූදානම් නැහැ. 

නිදහස් අධ්‍යාපනය, නිදහස්  සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යන මේ රට බෙදන්න ඉඩදිය යුතු නැහැ. මාතෘ භූමියට ආදරය කරන සියළු ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රධාන වත්මන් ආණ්ඩුව සමඟ එක්ව රට ඉදිරියට රැගෙන යාමට පෙළගැසිය යුතුයි ” යනුවෙන් ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

– Con.media

No comments:

Post a Comment

Post Bottom Ad