මගීන් 239 දෙනෙකු සමග මැලේසියන් ගුවන් යානය කඩා වැටුණාද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 10, 2014

මගීන් 239 දෙනෙකු සමග මැලේසියන් ගුවන් යානය කඩා වැටුණාද?

හොර පාස්පෝට් වලින් ආ ත්‍රස්තයින් යානය විනාශ කළාද?

මලයාසියාවේ, ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ, බීජිං නුවර බලා පියාසර කරමින් තිබියදී මගීන් 239 දෙනෙකු සමග සෙනසුරාදා අතුරුදන් වූ මගී ගුවන් යානයේ බවට සැක කළ හැකි දොරක් ඇතුළු සුන්බුන් කිහිපයක් මලයාසියා හා වියට්නාමය අතර මුහුදු ප්‍රදේශයකින් සොයාගෙන ඇතැයි වියට්නාම බලධාරීන් ප්‍රකාශ කරනවා.

එය අතුරුදන් වූ ගුවන් යානයේ ඒවාමදැයි නිශ්චිතව තහවුරු වී නැත.
ගුවන් යානය වියට්නාම මුහුදු ප්‍රදේශයකට කඩා වැටී ඇතැයි වියට්නාම බලධාරීන් ඊයේ තොරතුරු අනාවරණය කළත් මලයාසියාව එය විශ්වාස නොකරන බව කියා සිටියා.

වියට්නාම නාවික හමුදාව විසින් එම තොරතුරු ලබා දී තිබුණා.
මැලේසියානු ගුවන් සේවයට අයත් ඵ්‍ය  370 බෝයිං වර්ගයට අයත් ගුවන් යානය පසුගිය සෙනසුරාදා (08) එරට අගනුවර වූ  ක්වාලාලාම්පූර්හි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ගමන් ආරම්භ කළේ පාන්දර 12.40 ටය.

එය චීනයේ බෙයිජිං නගරයේ ගොඩබෑමට නියමිතව තිබුණේ පෙරවරු 6.30 ටය. එහෙත් මැලේසියාවේ නැගෙනහිර වෙරළේ කොටාභාරු නගරයට නාවික සැතපුම් 120 ක් පමණ තිබියදී ගුවන් යානය මැලේසියාවේ ගුවන් පාලන මැදිරිය හා පැවති සම්බන්ධය සම්පූර්ණයෙන්ම ඇන හිටියේය. 

ඒ වන විට යානය අඩි 35000 ක් ඉහළ අහසේ පියාසර කරමින්  තිබුණි. යානය අතුරුදන් වුවද යම් ආපදාවකට මුහුණ දී ඇති බව එහි ගුවන් නියමුවා ගුවන් පාලන මැදිරියට දන්වා තිබුණේ නැත. අවසානයේ බොහෝ දෙනාගේ මතය වූයේ ගුවන් යානය අනතුරට ලක්ව කඩා වැටෙන්නට ඇති බවය.

එහි චීන ජාතිකයින් 152ක්,  මලයාසියානු ජාතිකයින් 38ක්, ඉන්දුනීසියා ජාතිකයින් 12ක්, ඔස්ට්‍රේලියා ජාතිකයින් 6ක්, අමරිකානුවන් 3ක්, ප්‍රංශ ජාතිකයින් 3ක්, නවසීලන්ත, යුකේ‍්‍රන, කැනඩා ජාතිකයින් දෙදෙනා බැගින් සහ රුසියානු ඔස්ට්‍රියා නෙදර්ලන්ත, තායිවාන් හා ඉතාලි ජාතිකයකු බැගින්ද එහි ගමන් කර තිබුණා.

ගුවන් යානය අතුරුදන් වීමෙන් පසුව වියට්නාම, චීන සහ මැලේසියා බලධාරීන් එය සෙවීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරා.
එකවර මගීන් 380ට පමණ ගමන් කළ හැකි බෝයිං 777 වර්ගයේ මෙම යානා පැය 16ට වැඩි කාලයක් අඛණ්ඩව දිගුදුර චාරිකා සඳහා යොදාගන්නා ලොව ප්‍රධාන පෙළේ මගී ගුවන් යානා ලෙස සැලකෙයි.

මේ වන විට යානය අතුරුදන් වී පැය 48 කට වඩා ගෙවී ගොස්ය. තවමත් යානය පිළිබඳ නිශ්චිත තොරතුරක් නැති අතර යානයට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව රටවල් කිහිපයකම පරීක්ෂණ ආරම්භ කර තිබේ. චීනය, වියට්නාමය, මැලේසියාව ඒ අතර ප්‍රධානය.

මේ අතර යානයේ අතුරුදන්වීම හා ත්‍රස්ත ක්‍රියාවන් අතර සම්බන්ධයක් ඇති බවට සැක පළව තිබේ. එම සැකයට තුඩුදී ඇත්තේ යානයේ ගමන් ගත් මගීන් 227 දෙනා සහ කාර්යමණ්ඩලයේ 12දෙනාගේ නාමලේඛනය මැලේසියානු ගුවන් සේවය මගින් ප්‍රසිද්ධ කිරීමත් සමගය. 

මෙම මගී නාමලේඛනයේ ඔස්ට්‍රියානු සහ ඉතාලි ජාතිකයින් දෙදෙනකුගේ නම් ඇතුළත් වුවද එම මගීන් දෙදෙනා යානයේ ගමන්ගෙන නොමැති බව හෙළි විය. ඉතාලි ජාතික 27 හැවිරිදි ලූයිගි මැරල්ඩිගේ නම මගී ලැයිස්තුවේ ඇති බවට ප්‍රකාශවීමත් සමග ඔහු ඔහුගේ නිවසට දුරකතන ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ තමා යහතින් සිටින බවය. 

ඒ අනුව ලූයිගි යානයේ ගමන්කර නැති බව ඔහුගේ පියා මාධ්‍යයට සඳහන් කළේය. ඔස්ට්‍රියානු ජාතික ක්‍රිස්ටියන් නොසෙල්ගේ තත්ත්වයද එයම විය. ඔහුගේ නම යානයේ ගමන්ගත් මගීන්ගේ ලැයිස්තුවට ඇතුළත් වී තිබුණද ඔහු නිවසට පැමිණ තිබේ.

කෙසේ වුවද මේ දෙදෙනාගේම  ගුවන් ගමන් බලපත්‍ර 2013 වසරේ අගෝස්තු මාසයේදී තායිලන්තයේදී සොරාගෙන ඇති බව අනාවරණය විය. ඒ අනුව එම ගුවන් බලපත්‍ර දෙක යොදා ගනිමින් වෙනත් මගීන් දෙදෙනකු අතුරුදන් වූ යානයේ ගමන්ගෙන ඇති බැවින් එය ත්‍රස්ත ක්‍රියාවක් දැයි මතුව ඇති සැකයට පාදක වූයේය.

නමුත් ඇතැමි විදෙස් වාර්තා පවසන්නේ මෙවැනි සොරාගත් ගමන් බලපත් ඇසුරින් ගුවන් යානයේ ගමන් කිරීම සුලබ කරුණක් බවත් මැලේසියානු යානාවල එවැනි සිදුවීම් මින්පෙරත් නිතර වාර්තාවී ඇති බවත්ය.

 කෙසේ වුවද මේ සැකය මෙතෙක් තහවුරු කරගැනීමට හැකිව නැත. එනිසාම පරීක්ෂණ කටයුතු දිගින් දිගටම සිදුවේ. යානයේ අතුරුදන්වීම ගැන පරීක්ෂණ මෙහෙයවන වියට්නාම ගුවන් හමුදාවට අයත් යානයකට එරට දකුණු වෙරළ තීරයේ මුහුදු ජලය මත පාවෙන තෙල් තට්ටු දෙකක් නිරීක්ෂණය කරගැනීමට හැකිවිය. 

මෙම තෙල් කට්ටු දෙක අතුරුදන් වූ යානයේ බවට සිතිය හැකි යැයි වියට්නාම බලධාරීහු සඳහන් කරති. වියට්නාම සමුද‍්‍රීය යාත්‍රා දෙකක් සහ හමුදා යාත්‍රා කිහිපයක් මෙම තෙල් තට්ටු නිරීක්ෂණය වී ඇති ප්‍රදේශවලට යවා තොරතුරු අධ්‍යනයට පියවර ගෙන ඇත. මෙයට අමතරව යානය අතුරුදන් වූ ප්‍රදේශයට චීන, පිලිපීන, වියට්නාම, සිංගප්පූරු සහ මැලේසියානු නෞකාවන්ද පරීක්ෂණ සඳහා යෙදවීමට පියවර ගෙන ඇත. 

පසුව යානයේ දොරක් හමුවූ බවද ඊයේ රාත්‍රී බලධාරීන් ප්‍රකාශ කර තිබුණත් එය අතුරුදන් යානයේදැයි තවම තහවුරු කර නැත.
යානයේ ගුවන් නියමුවා වූ 53 හැවිරිදි මැලේසියානු ජාතික කපිතාන් සහාරී අහමඩ් ෂා අත්දැකීම් බහුල නිලධාරියෙකි. පැය 18365ක පියාසර ගුවන් කාලයක අත්දැකීම් ඇති  ඔහු ගුවන් නියමු වෘත්තියට එක්වී ඇත්තේ 1981 වසරේදීය. 

ඔහුගේ සහායක නියමුවා 27 හැවිරිදි වියේ පසුවන මැලේසියානුවකු වන ෆාරික් අබ්දුල් හමීඩ් 2007 දී සේවයට එක්ව ඇත. ඔහුට පියාසර පැය 2763ක අත්දැකීම් හිමිය. යම් හෙයකින් යානය අනතුරට ලක්වී කඩා වැටුණේ නම් එය 2001 වසරින් පසු සිදුවූ මාරාන්තිකම ගුවන් අනතුර වනු ඇත. 

2001 වසරේ ඇමෙරිකානු ගුවන්සේවයට අයත් එයාබස් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 265 ක් මරණයට පත්විය. එසේම මෙය ගුවන් අනතුරක් නම් බෝයිං 777 යානාවල සිදුවූ දෙවන විශාලම අනතුර බවටද පත්වේ. මෙම අතුරුදන්වීම ගැන අදහස් දක්වන බෝයිං සමාගම එවැනි අනතුරක් සිදුවී ඇති බව දන්නේ යැයි පමණක් පවසා වැඩිදුර අදහස් පළකිරීම ප්‍රතික්ෂේප කර ඇත.

මේ  අතර නිල නොවන වාර්තාවල සඳහන් වන්නේ අතුරුදන්ව ඇති ගුවන් යානය 2012  වසරේදී සිදුවූ ගුවන් යානා  අනතුරකට සම්බන්ධ වූ යානය බවය. චීනයේ ෂැන්හයි පුඩොන්ග් ගුවන් තොටුපොළේදී තවත් යානයක ගැටීමෙන් මෙම යානයේ තටුවකට හානි සිදුවී තිබුණු බව එම වාර්තාව සඳහන් කරයි.

සෙනසුරාදා අතුරුදන් වූගුවන් යානය අතුරුදන්වීමට පෙර ආපසු හැරී ගමන් කරන්නට උත්සාහ ගෙන තිබූ  බවට රේඩාර් සංඥා අනුව දිස්වන බව මැලේසියානු බලධාරීහු සඳහන් කරනවා. එසේ යානය යළි හැරී ගමන් කළේ නම් යානයේ නියමුවා ගුවන් පාලන මැදිරිය හා සම්බන්ධ නොවන්නේ මන්ද යන ප්‍රශ්නයද පැන නැගී තිබේ. 

සෙනසුරාදා පාන්දර 12.40ට රේඩාර් තිරයෙන් ඉවත් වූ පසු මේ වන තෙක් කිසිදු තොරතුරක් ලැබි නොමැත. සොරා ගත් විදේශ ගමන් බලපත් යොදා ගනිමින් යානයට ගොඩ වී ඇති දෙදෙනා හඳූනා ගැනීමට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එම දෙදෙනා ගුවන් ටිකට් පත් ලබා ගෙන ඇත්තේ එකම වේලාවේදී බව මෙතෙක් කර ඇති පරීක්ෂණවලින් හෙළි විය. අතුරුදහන් වූ යානය පිළිබඳව තොරතුරු සෙවීම සඳහා ගුවන් යානා විසි දෙකක් සහ නැව් හතළිහක් යොදවා ඇති බව මැලේසියානු බලධාරීහු පවසති.





No comments:

Post a Comment

Post Bottom Ad