ලංකාව වටෙන්ම සුපිරි හෝටල්- ඉඩම් ගන්න ‘එඩ්වඩ්ස්ලාට’ බිලියන 7ක කළු සල්ලි ලැබුණේ කොහෙන්ද? EXCLUSIVE - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 6, 2020

ලංකාව වටෙන්ම සුපිරි හෝටල්- ඉඩම් ගන්න ‘එඩ්වඩ්ස්ලාට’ බිලියන 7ක කළු සල්ලි ලැබුණේ කොහෙන්ද? EXCLUSIVE

ම්බ හොරුන්, පල් හොරුන් නැති ලොව රටක් හෝ දේශයක් නැත. අපගේ ශ්‍රී ලංකාවද මෙවැනි හොරුන්ට හොඳින්ම නම් දරා ඇති රටකි. ව්‍යාපාරික හොරුන්, බැංකු හොරුන්, එන්.ජී.ඕ. හොරුන්, ආගමික හොරුන් වැනි අනේක විලාසිතාවේ වාර්තාගත හොරුන්ට මේ සිරිලකද හොඳ තෝතැන්නකි. ඇස්පනාපිටම පෙනි පෙනී කරන හොරකම් මෙන්ම, ඉතාමත් සීරුමාරුවෙන් කරන හොරකම්වලටද මේ ලාංකිකයන් ඉතාම දක්‍ෂයන්ය. මේ අතර තවත් අපූරු හොරු වර්ගයක්ද සිටිති.
එනම් සීරුමාරු ක්‍රමයටම හොරකම් කරන හොරුන් ඔවුන්ය. බොහෝ පැහැදිලි සද්භාවයෙන්, සීරුමාරු ක්‍රමයට මොවුන් සිදුකරන හොරකම් ලෙහෙසියෙන් කෙනකුට අල්ලාගත නොහැකිය. ඇස්පනාපිට පෙනෙන හොරකම් දවස් හෝ සති කිහිපයකින් හෝ අල්ලා ගත්තද, මේ අපූරු ‘සීරුමාරු ගේම්’ අල්ලා ගැනීමට වසර ගණනක් ගතවෙයි. ඒ වන විට හොරා යහතින් වැජඹී හමාරය. එහෙත් ‘දිට්ඨ ධම්ම වේදනීය කර්මය’ ඔවුන් පසුපස හඹා එයි. එසේම ‘කෙසෙල් ගස්වලට කොටාගෙන ගොස් හොට පැටලෙන තැනද’ තීරණය වනු ඇතිය.

රියෙන්සි මහේෂ් කුමාර එඞ්ව්ර්ඞ්ස් සහ පුන්‍යා ප්‍රියංජී මැණිකේ එඞ්වර්ඞ්ස් , කවුද මේ දෙදෙනා? මේ දෙදෙනා කසාද යුවළක්. මේ සැමියාගේත්, බිරියගේත් නම් දෙක පසුගියදා අපට අසන්නට ලැබුණේ ඉතාමත්ම සුවිශේෂී ස්ථානයකින්ය. එනම් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන්ය. ඉතාම සද්භාවයෙන්, බොහෝ සීරුමාරුවට සිදු කෙරුණු මහා මූල්‍යමය වංචාවක තොරතුරු තමයි මෙසේ මහඅධිකරණ දොරකඩින් එළියට එන්නේ. ඉහත නම් දරනා සැමියා සහ බිරිය සිදුකරනු ලැබුවා යැයි පැවසෙන සුවිශාල මුදල් වංචාවක තොරතුරු තමයි මේ අධිකරණයෙන් ඇසෙන්නේ.

මෙය ශ්‍රී ලංකාව පමණක් නොව ඇමෙරිකාවද කේන්ද්‍ර කරගත් මහා මූල්‍යමය වංවාවක් බවට දැන් තොරතුරු හෙළිවී තිබෙනවා. තවත් විදියකින් කියනවා නම් එක කකුලක් ශ්‍රී ලංකාවේත්, අනෙක් කකුල ඇමෙරිකාවේත් තියාගෙන කරපු හොරකමක්.

මෙම ශ්‍රී ලාංකික යුවළට එරෙහිව ශ්‍රී ලංකා මූල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් පසුගිය කාලයේ සිදුකරන ලද දීර්ඝ, පුළුල් පරීක්‍ෂණයකට පසුව එම යුවළ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේය. යුවළට එරෙහිව ගොනු කෙරුණු මෙම මූල්‍යමය චෝදනා ඉතාමත් බැරෑරුම් ඒවා වූ හෙයින්, මේ පිළිබඳව කාලයක් පුරා පරීක්‍ෂණ රැසක් සිදුකෙරිණි. අවසානයේදී එහි ප්‍රතිඵලයක් ලෙස මෙම යුවළ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. ශ්‍රී ලංකාවේ ප්‍රකට විනිසුරුවරියක වන, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියට මෙම චූදිතයන් පමුණුවනු ලැබීය. එහිදී නඩුව විභාග කළ මහෙස්ත්‍රාත්වරිය, මෙම චෝදනා ඉතාමත් බැරෑරුම් ඒවා ලෙස සලකා චූදිතයන් දෙදෙනා ලබන ජූලි 7 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කළාය.

කෙටි නාමයන් හඳුන්වන රියෙන්සි එඞ්වර්ඞ්ස් සහ පුන්‍යා එඞ්වර්ඞ්ස් යුවළ දැනට වසර ගණනාවක සිට ශ්‍රී ලංකාවේත්, ඇමෙරිකාවේත් ව්‍යාපාර කටයුතුවල නිරත වී සිටින ප්‍රකෝටිපති ධනකුවේර යුවළකි. මොවුන් මෙම ව්‍යාපාර කටයුතු සිදුකරන අතරවාරයේදී තවත් විවිධ ව්‍යාපෘතීන් හරහා අයථා අයුරින් මුදල් උපයා ගත්තේ යැයි අධි චෝදනා නැඟී තිබිණි. එහෙත් ඔවුන්ගේ එම ව්‍යාපාරික හෝ ව්‍යාපෘති කතාන්දර පිටුවකින්, දෙකකින් ලියා නිම කළ හැකි ඒවා නොවේ. මෙයට දින කිහිපයකට ඉහතදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ දිගහැරෙන්නට ගත්තේ මෙම කතාන්දරවලින් සමහරකි. ශ්‍රී ලංකාවත්, ඇමෙරිකාවත් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කෙරී ඇති සමහර වංචනික යැයි ප්‍රකාශ කෙරෙන විවිධ ව්‍යාපාර සහ ව්‍යාපෘති මගින් උපයාගත් ඩොලර් මිලියන ගණනාවක මුදල් පසුව මූල්‍ය විශුද්ධිකරණ ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකාවේ බැංකුවල තැන්පත් කර ඇති බවට චෝදනා නැඟෙයි. එනම් අයථා අයුරින් උපයා ගන්නා ‘කළු සල්ලි’ පසුව ‘සුදු සල්ලි’ බවට පරිවර්තනය කිරීම එම ක්‍රියාවයි. එහිදී එම විශුද්ධිකරණය වූ මුදල් බැංකුවල තැන්පත් කිරීමට අමතරව, ශ්‍රී ලංකාවේදී විවිධ ව්‍යාපාර සඳහාද යොදවනු ලබයි.
මෙම මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලිය ලෝකයේ රටවල් රැසක සිටින කූඨ ව්‍යාපාරිකයන් මෙන්ම ප්‍රබල දේශපාලකයන් විසින්ද සිදුකරනු ලබයි. කෙසේ හෝ ශ්‍රී ලංකාවේ ප්‍රකෝටිපති එඞ්වර්ඞ්ස් යුවලටද මෙම චෝදනා නැඟුණු අතර, ශ්‍රී ලංකා මූල්‍ය අපරාධ කොට්ඨාසය ප්‍රකාශකර සිටියේ, මොවුන් විදෙස් මුදල් ශ්‍රී ලංකාවේ තැන්පත්කර ගනිමින් විවිධ දේපොළ රැසක් මිලදී ගෙන ඇති බැව්ය. 2015 පමණ වසරේ සිට මෙම එඞ්වර්ඞ්ස් යුවළ විසින් ශ්‍රී ලංකාවට එවන ලද විදෙස් මුදල් ප්‍රමාණය ගැන ඉතා පැහැදිලි නිල ලේඛනයක් පසුගියදා අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. මෙම වගතුග සැබෑ ලෙසම ගත කීරිගැසී යන වගතුගකි. මෙලෙස ඉදිරිපත් කර ඇති ලේඛන දත්තවලට අනුව පසුගිය එම වසර කිහිපයේදී ඔවුන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් 55,084,865,50ක මුදලක් සහ මහා බි්‍රතාන්‍ය පවුම් 255,101,22ක මුදලක් එවා ඇත. මෙම මුදල ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය වූ විට එය රුපියල් බිලියන 7.24ක් වෙයි. මෙය රුපියල් මිලියනවලින් නම් 7,200කි. මෙය සැබැවින්ම විස්මිත මුදල් ප්‍රමාණයකි.

රියෙන්සි එඞ්වර්ඞ්ස් සහ පුන්‍යා එඞ්වර්ඞ්ස්, මෙම රුපියල් බිලියන 7.24ක මුදලින් රුපියල් බිලියන 5.82ක මුදලක්ම භාවිත කර ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ විවිධ දේපොළ මිලදී ගැනීම සඳහාය. එම රුපියල් බිලියන 5.82ක මුදලින් රුපියල් බිලියන 2.70ක මුදලක් යොදවාගෙන ඇත්තේ එක්තරා සුවිශේෂී දේපොළක් මිලදී ගැනීම සඳහාය. එය නම් කොළඹ 7, හෝර්ටන් පෙදෙසේ අංක 37 දරන ස්ථානයේ පිහිටා තිබුණු ආසිරි සෙන්ට්‍රල් රෝහල මිලදී ගැනීමටය. මෙම රෝහල මුලින් ආශා සෙන්ට්‍රල් රෝහල නමින් හැඳින්වූ අතර, පසුව එම රෝහල වසා දමන ලදී. එම දේපොළෙහි හිමිකරුවන් වන ‘සොෆ්ට්ලොජික්’ ආයතනය විසින් පසුව එම දේපොළ විකිණීමට තීරණය කළේය. කෙසේ හෝ රුපියල් බිලියන 2.60කට තක්සේරු වුණු එම දේපොළ රියෙන්සි එඞ්වර්ඞ්ස් විසින් මිලදී ගත්තේ, එම මුදලටත් වඩා රුපියල් බිලියන 2.70කටය. විදෙස් ඩොලර්, පවුම් මුදල් රුපියල්වලට හරවාගෙන ගනුදෙනුව සිදුකළේය.

මෙම ප්‍රධාන ගනුදෙනුවට අමතරව එඞ්වර්ඞ්ස් යුවළ තවත් දේපොළ රැසක්ද මිලදී ගෙන ඇත. ඒවාට සුපිරි පන්තියේ නිවාස මෙන්ම සුපිරි හෝටල් කිහිපයක්ද අයත්ය. වසර කිහිපයක් තුළදී පමණක් මෙලෙස අධි මිලැති දේපොළ මිලදී ගැනීමට මෙම යුවළ මුදල් උපයා ගත්තේ කෙසේද? එය සැබෑ ලෙසම විස්මය දනවන තවත් වෙනමම පරිච්ඡේදයකි. පසුගියදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදී එම වගතුග දීර්ඝව හෙළිවූයේ නැත. ඒ හෙයින් ඒ ගැන අතීත වටාපිටාව සොයා බලන්නට අපි වෙහෙසුණෙමු.

රියෙන්සි එඞ්වර්ඞ්ස් සහ පුන්‍යා එඞ්වර්ඞ්ස් යන නාමයන් දෙකම අපගේ පුවත්පත්වලට වඩා මහත් ප්‍රකටව ඇත්තේ විදෙස් පුවත්පත්වලය. එයින්ද රියෙන්සි එඞ්වර්ඞ්ස්ගේ නාමය මහත් ඉහළින් ඇමෙරිකාවේ පුවත්පත්වල සහ අනෙකුත් මාධ්‍යවල ප්‍රචලිතව ඇත්තේ එක්තරා වංචනික ක්‍රියාවන් කිහිපයක් අදාළවය. මෙම සිද්ධිය සම්පූර්ණයෙන්ම දිගහැරෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වන අතර, එම කාලවකවානුව 2016-2017 සමයක් ලෙස හැඳින්විය හැකිය. එය මෙසේය.

මෙම කතාන්දරයේ කතානායකයා වන්නේ රියෙන්සි එඞ්වර්ඞ්ස්ය. 2016 වැනි කාලවකවානුවක ඔහු තවත් විදේශිකයන් කිහිපදෙනකුද සම්බන්ධ කරගෙන ඇමෙරිකාවේදී දියත් කරන්නේ එක්තරා නව ව්‍යාපෘතියකි. එනම් මේ මගින් සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකාවද ඇතුළු ලෝකයේ දුප්පත් රටවල් කිහිපයක නිවාස නොමැතිව සිටින ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීම සඳහා කටයුතු කිරීමේ ක්‍රියාවලියකි. මෙය ඩොලර් මිලියන දහස් ගණනාවක සුවිශාල ව්‍යාපෘතියක් වන අතර, ඒ සඳහා ලෝකයේ ඕනෑම රටක සිටින දානපතියන්ට මෙන්ම, ආයෝජකයන්ටද සහභාගි විය හැකිය. ‘සිටීස් අප්ලිෆ්මන්ට් ප්‍රෝග්‍රෑම් (ක්‍සඑසැි ඹචකසඓපැබඑ ඡරදටර්පැ – ක්‍ඹඡ) නමැති මෙම ව්‍යාපෘතියේ සිංහල අරුත වන්නේ නගර නඟාසිටුවීමේ ව්‍යාපෘතිය යන්නය. මෙම ව්‍යාපෘතියේ ප්‍රධානියා වන්නේ රියෙන්සි එඞ්වර්ඞ්ස් වන අතර, ඔහුට අමතරව තවත් විදේශික ව්‍යාපාරිකයන් පස්දෙනකුද මෙයට සම්බන්ධය. ඔවුන්ට ඇමෙරිකානු ජාතිකයන් මෙන්ම, ඇමෙරිකාවේ සිටින තවත් විදේශිකයන් කිහිප දෙනකුද අයත්ය. මයිකල් ජේකොබ්, රූබී ජේකොබ්, එෆ්. කේ. හෝ, ලෝරන්ස් ලෙස්ටර් සහ රැකල් ජෙන්ඩෙරෝ මෙම පස්දෙනා වෙති.

මෙම නගර නඟාසිටුවීමේ ජාත්‍යන්තර ව්‍යාපෘතිය සඳහා ලෝකයේ ඕනෑම රටක සිටින පරිත්‍යාගශීලීන්ට මෙන්ම ආයෝජකයන්ටද සහභාගි විය හැකිය. මෙහිදී ආයෝජකයන්ට ඉතාමත් ආකර්ෂණීය ප්‍රතිලාභ ලබා දීමට ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂවරුන් පොරොන්දු වූ අතර, එය සමහර විට එක් ගුණයකට සිය ගුණයකටත් අධික ප්‍රතිලාභ බවට ප්‍රචාරණය කෙරිණි. නිදසුනක් ලෙස ඩොලර් මිලියනයක් ආයෝජනය කළහොත්, ඩොලර් මිලියන 100-150ක් ප්‍රතිලාභ ලෙස ලැබෙන බවට කරුණු ප්‍රකාශ කෙරිණි. මෙම ව්‍යාපෘතියෙන් ලබන ලාභයෙන් හරියටම අඩක් ව්‍යාපෘතියේ කටයුතු සඳහාද, ඉතිරි භාගය මුළුමනින්ම ආයෝජකයන්ට ලබා දීමටත් තීරණය කෙරිණි. කෙසේ හෝ මෙම ව්‍යාපෘතිය අරඹා මාස කිහිපයක් ගතවත්ම ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණු අතර, ලොව රටවල් රැසක ආයෝජකයෝ එයට සහභාගි වූහ. ඉතාමත් කෙටි කාලයකදී ඩොලර් මිලියන සිය ගණනින් මෙම ව්‍යාපෘතියට එකතු වන්නට විය. මෙය දියත් කළ වංචනික පිරිස ආයෝජකයන්ට කියා සිටි තවත් විශාල බොරුවක් වූයේ, මෙම ව්‍යාපෘතිය සිදුකෙරෙන්නේ ඇමෙරිකානු ෆෙඩරල් රජයේ අනුදැනුම මත බැව්ය. මේ නිසා ආයෝජකයෝ විශාල ලෙස රැවටීමට පත්වූහ.

කෙසේ හෝ ඉතාමත් ඉක්මනින්ම ඩොලර් මිලියන සිය ගණනකට අධික මුදලක් මෙම ව්‍යාපෘතියට ලැබිණි. ආයෝජකයන් ඉන්පසුව බලාපොරොත්තු වූයේ, ඉක්මන් කෙටි කාලයක් තුළදී ලබාදෙනවා යැයි ප්‍රකාශ කළ තමන්ගේ ප්‍රතිලාභ ලබා ගැනීමටය. ඩොලර් මිලියන සිය ගණනක් නොහොත් රුපියල් මිලියන දහස් ගණනකට වැඩි මුදලක් ලැබී තිබියදීත් ආයෝජකයන්ට නිසි ප්‍රතිලාභ ලැබෙන බවක් පෙනෙන්නට නොතිබිණි. මෙහිදී සමහර ආයෝජකයන්ට සැණෙන් අවබෝධ වූයේ තමන් හසුවී ඇත්තේ මර උගුලකට බැව්ය. ඩොලර් ලක්‍ෂ ගණනින් ආයෝජනය කළ ආයෝජකයන් රැසක් එකට එක්වී වහා තීරණය කළේ, මෙම ව්‍යාපෘතිය දියත් කළ පිරිසට එරෙහිව නඩුමඟට බැසීමටය. මේ අනුව 2017 අගෝස්තු මාසයේදී නිව්යෝර්ක් නුවර ෆෙඩරල් අධිකරණයේදී නඩුවක් ගොනු කෙරිණි. මෙම ව්‍යාපෘතියෙන් ආයෝජකයන්ගේ මුදල් වංචා කිරීම සඳහා වෙනත් කූඨ බැංකු ගිණුම් අංක පවා භාවිත කර තිබුණේ යැයි හෙළිවිණි. කෙසේ හෝ නඩුව විභාග කළ විනිසුරුවරයාට වහා තේරුම් ගියේ, මෙම සිදුවීම මහා වංචාවක් බැව්ය. ඒ හෙයින් ඔහු පළමු නියෝගය ලබා දුන්නේ, අදාළ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහ ව්‍යාපෘතියේ සියලුම ගිණුම් වහාම අත්හිටුවන ලෙසය.
මෙය රියෙන්සි එඞ්වර්ඞ්ස් විසින් දියත් කරන ලද එකම ව්‍යාපෘතිය නොවන අතර, ඔහු තවත් විවිධ වංචනික ව්‍යාපෘතීන් කිහිපයක්ම සිදුකර ඇත. මෙලෙස ඔහු උපයා ගන්නා ඩොලර්, පවුම් බිලියන ගණන් ඔහු වහාම ශ්‍රී ලංකාවට එවා රුපියල්වලට පරිවර්තනය කරගනියි. ඒ සමඟම එම මුදල් භාවිත කරමින් විවිධ සුපිරි දේපොළ මිලදී ගනියි. ඔහු පහසුවෙන්ම ‘කළු සල්ලි’ තොග ‘සුදු සල්ලි’ තොග බවට පත්කරගෙන නීත්‍යනුකූල ජීවිතයක් ගතකරන්නට ගන්නේ එසේය. මෙම වංචනික ක්‍රියා සඳහා ඔහු බොහෝ විට තම බිරියද සහභාගි කරවා ගන්නේය. අද දෙදෙනාටම සිපිරි ගෙයි ළගින්නට වී ඇත්තේ එහි ආදීනව නිසාය.

මෙම එඞ්වර්ඞ්ස් කතාවේ තවත් අපූරුම පිටුවක් මෙතැන සිට පෙරළෙයි. එනම් රියෙන්සි එඞ්වර්ඞ්ස් සහ පුන්‍යා එඞ්වර්ඞ්ස් යුවළගේ අතිශයම සමීප හිතවත් දේශපාලනික බලවතුන් රැසක්ම ශ්‍රී ලංකාවේ සිටිති. ඔවුන් පසුගිය රජයේ අතිශයින්ම ප්‍රබලයන්ය. එකම පවුලේ දේශපාලනයේ නියුතු කිහිප දෙනෙක්ම මේ අතර වූහ. වරක් එම හිටපු බලවතකුගේ රාජ්‍ය නිවාස අරමුදලකට මෙම එඞ්වර්ඞ්ස් යුවළ රුපියල් මිලියනයක (ලක්‍ෂ 10ක්) මුදලක්ද පරිත්‍යාගකර ඇත. එසේම ඔහුගේ ඥාතියා වූ ඇමැතිවරයාගේ කටයුතු සඳහාද විවිධ උදව් උපකාර සිදුකර ඇත. මෙම හිතවත් පවුල් දෙකෙහි විවිධ සමීප සබඳතා ඡායාරූප රැසක්ම අන්තර්ජාලයෙහි දැකිය හැකිය.
රියෙන්සි එඞ්වර්ඞ්ස් සහ පුන්‍යා එඞ්වර්ඞ්ස් යුවළ ඉතාමත් ප්‍රකට තුරඟ තරග ලෝලීන්ය. ඔවුන් සතුව රුපියල් කෝටි ගණනක් වටිනා තුරඟ ධාවන අශ්වයන් 7 දෙනකු පමණ සිටියි. නුවරඑළිය වසන්ත සමයේදී පැවැත්වෙන තුරඟ තරග සඳහා මෙම අශ්වයන් තරග වදියි. බොහෝ තරගවලදී ඔවුන්ගේ අශ්වයන් ජයග්‍රහණය කරනු ලබන අතර, වතාවන් කිහිපයකදී ක්‍රීඩා ඇමැති කුසලානයද දිනාගනු ලැබුවේය. කෙසේ හෝ එවිට එම යුවළ වෙත ලැබෙන ලක්‍ෂ ගණනාවක ජයග්‍රාහී මුදල් ඔවුන් යම් රෝහලක කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කරයි. එඞ්වර්ඞ්ස් යුවළට නුවරඑළිය ප්‍රදේශයේ විශාල තේ වතු කිහිපයක්ද අයිතිය. එම වතුද ඔවුන් කලින් කලට මිලදීගෙන ඇත.

කෙසේ හෝ මෙම එඞ්වර්ඞ්ස් කතාන්දරයේ වත්මන් තත්ත්වය බොහෝ තීරණාත්මකය. 2020 ජනවාරි මාසයේදී මූල්‍ය අපරාධ පරීක්‍ෂණ ඒකකයේ සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝග මත මෙම එඞ්වර්ඞ්ස් යුවළ සතු සියලුම නිශ්චල දේපොළ තහනම් කිරීමකට පත්කර ඇත. මෙම තීරණය යටතේ මේ වන විට එම දේපොළවලින් කිසිදු මූල්‍ය ආදායමක් හෝ වෙනත් වරප්‍රසාදයක් හෝ ලබා ගැනීම අහෝසි වෙයි. මෙම තීරණය යටතේ තහනම් දේපොළ බවට පත්කර ඇත්තේ, ඔවුන් මිලදී ගත් ආසිරි සෙන්ට්‍රල් රෝහල, සුපිරි හෝටල් කිහිපයක් සහ සුපිරි නිවාස කිහිපයක්ය. මෙම දේපොළ සියල්ලම ඔවුන් මිලදී ගෙන ඇත්තේ පසුගිය වසර කිහිපය තුළදී ඇමෙරිකාවේදී මූල්‍ය වංචාවට චෝදනා ලැබීමෙන් පසුවය. මෙම දේපොළවල වටිනාකම රුපියල් බිලියන 5.8ක් නොහොත් රුපියල් මිලියන 5,800කි. කෙසේ හෝ ඇමෙරිකානු අධිකරණයේ වාර්තාවලින් පැවසෙන ආකාරයට ඔවුන් ඇමෙරිකාවේදී වංචා කරන ලද මුදල ඩොලර් මිලියන 50කට අධිකය. මෙය සැබෑ ලෙසම මහා පරිමාණ වංචාවකි. කෙසේ හෝ මෙම යුවළ පසුගිය රජය සමයේ ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇත. දැන් ඔවුන්ට මෙහිදී ගැලවීමක් නැති බැව් පෙනෙයි.

‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ ප්‍රවීණ මාධ්‍යවේදිනී නාමිණී විජේදාස මහත්මිය මෙම විෂය අලළා වතාවන් කිහිපයකදී ලියන ලද පුවත් ඇසුරු කරගෙන මෙම ලිපියේ බොහෝ කරුණු සකස් කෙරිණි. එසේම තවත් විදෙස් මාධ්‍ය කිහිපයක පළවූ තොරතුරුද භාවිතයට ගන්නා ලදී. මෙම සිදුවීම් ගැන එඞ්වර්ඞ්ස් යුවළගෙන් හෝ ඔවුන්ට සම්බන්ධ වෙනත් පිරිස්වලින් හෝ කරුණු විමසීමට අදහස් වුවත්, ඔවුන් සම්බන්ධ කරගැනීමට අපහසු විය. එඞ්වර්ඞ්ස් යුවළ මේ වන විට රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටියි.

කෙසේ වෙතත් මෙම එඞ්වර්ඞ්ස් යුවළ ගොඩනඟාගෙන තිබුණු දේශපාලන සම්බන්ධතා සහ පොලිස් ප්‍රධානීන් සමඟ වන සම්බන්ධතා සම්බන්ධයෙන්ද මේ වන විට අපි අධ්‍යයනයක නිරත වෙමින් සිටිමු. එම සියලු තොරතුරු ඉදිරි කලාපයක ඡායාරූප සමගින්ම පළ කිරීමට අපි සූදානම්වී සිටිමු.

ප්‍රියන්ත හෙට්ටිගේ
මව්රට


No comments:

Post a Comment

Post Bottom Ad