මුත්‍ර්‍ර්‍රා බරක් නිසා දිවි බේර ගත් හාල් බෑගයකින් මතු වු බිලිදියගේ කදුළු කතාව - එම සිද්ධිය පෙළගැසෙන්නේ මෙසේය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 15, 2019

මුත්‍ර්‍ර්‍රා බරක් නිසා දිවි බේර ගත් හාල් බෑගයකින් මතු වු බිලිදියගේ කදුළු කතාව - එම සිද්ධිය පෙළගැසෙන්නේ මෙසේය

මෙලොව ලබාගත හැකි උතුම්ම සම්මත දරු සම්පතයි. දරු සෙනෙහස වෙනුවෙන් කැපකරන දෙමාපියන් ඔවුන්ගේ ජීවිත පවා පූජා කිරීමට මැලි නොවේ. එහෙත් දරු සෙනෙහස හඳුනා නොගත් මව්වරුන් එම උතුම් පදවියට නිගා කරමින් කටයුතු කිරීම කොතරම් ඛේදජනකද? මවගේ ආදරය නොමසුරුව අපේක්ෂා කරන බිලිඳියක් සිය ඇකයෙන් ඉවතට වීසිකර දැමූ අහස පොළොව නුහුලන අපරාධයක් වාර්තා වූයේ ඉකුත් 6 වෙනි දිනය. ඒ පුත්තලම පොලිස් බල ප‍්‍රදේශයෙන් ය.

එම සිද්ධිය පෙළගැසෙන්නේ මෙසේය.

එදින පුත්තලම කුරුණෑගල මාර්ගයේ 4 කණුව නාවික හමුදා කඳවුර පිහිටි රක්ෂිතය ආසන්නයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු යතුරු පැදිය නවත්වන්නේ ඔහුට ශරීර කෘත්‍යයක් ඉටු කර ගැනීමට අවශ්‍ය වූ නිසාවෙන්ය. ඔහු ආණමඩුව ප‍්‍රදේශයට ගමන් කරමින් සිටියේය. ඒ වන විට වෙලාව උදෑසන 10 ට ආසන්නව තිබිණි. යතුරුපැදිය නැවැත්වූ එම පුද්ගලයා මීටර් කීපයක් කැලය දෙසට ගමන් කළේය. ඒ අතරතුර ඔහුට කුඩා දරුවකුගේ හීන් කෙඳිරියක් කන වැකුණේ ය. ඔහු මඳක් විමසිලිමත් විය. එම හඬ සත්‍ය වශයෙන්ම කුඩා දරුවෙකුගේ බව හැඳින ගැනීමට ඔහුට වැඩි වේලාවක් ගත නොවීය. ශබ්දය ඇසූ ඉසව්ව සොයා ඔහු ගමන් කළේය. එම ස්ථානය තරමක් ලඳු කැලෑ සහිතය. මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් තෘණ වර්ග හොඳින් වැඞී පැවතුණි.

තණකොළ බිස්සක පෙනෙන නොපෙනෙන සේ කහ පැහැති සහල් අසුරන බෑගයකි. ඒ තුළින් කුඩා දරුවාගේ හඬන ශබ්දය පැහැදිලිව ඇසුණේය. ඒ අසලට ගිය ඔහුට අදහාගත නොහැකි දර්ශනයක් නෙත ගැටුණේය. කුඩා බිලිඳියක් පත්තර කොළවලින් ඔතා බෑගය තුළ ය. ඔහු දැඩි තැති ගැන්මටත්, කම්පනයටත් පත් විය. වහාම බෑගය අතට ගත්තේය. අනතුරුව ඔහු කැලයෙන් එළියට පැමිණියේ විදුලි වේගයෙනි.

කිසිත් කර කියාගත නොහැකිව ඔහු මඳක් කල්පනා කළේය. හැකිතාක් ඉක්මනින් දරුවා රෝහලට රැගෙන යෑමට හැකි වන්නේ 1990 ගිලන්රථ සේවයට දැන්වීමෙන් බව ඔහුට ඒත්තු ගන්නට වැඩි වේලාවක් ගත නොවීය. ඒ අනුව ඔහු 1990 ට දුරකථන ඇමතුමක් ලබා දුන්නේය. මේ අතර ඔහු පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ද දැනුම් ද දීමට කටයුතු කළේය. 1990 ගිලන්රථ දුරකථන සේවා ප‍්‍රධාන මෙහෙයුම් මැදිරිය වහාම පුත්තලම පොලිසියේ ගිලන් රථ සේවයට දැනුම් දුන්න ද ඒ වන විට එම ගිලන් රථය කිසියම් අවශ්‍යතාවයක් සඳහා පිටව ගොස් තිබුණි. අනතුරව කරුවලගස්වැව පොලිසියට දැන්වීමෙන් පසුව එම ගිලන් රථය අදාළ ස්ථානයට පැමිණියේය. ඒ අතරතුර පුත්තලම පොලිසියේ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ සිටියේය. අනතුරුව පුත්තලම පොලිසිය මැදිහත් වී දරුවා පුත්තලම මූලික රෝහලට රැගෙන ඒමට කටයුතු කළේය.


පෙර දැනුම් දීමකට අනුව පුත්තලම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි සුමිත් අත්තනායක මහතාගේ උපදෙස් මත රෝහල් කාර්ය මණ්ඩලය දරුවාට අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දීමට වටපිටාව නිර්මාණය කර තිබිණි. ඒ අතර රෝහල් පරිශ‍්‍රයේ රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම රෝහලට පැමිණි බොහෝ දෙනෙක් රැඳී සිටියේ බිලිඳිය දැකබලා ගැනීමේ අරමුණින්ය. සහල් බෑගයේ දමා පත්තර කොළවලින් ඔතා තිබූ බිලිඳිය කෑගසද්දී ඒ අසල රැඳී සිටි සියල්ලගේම නෙතට කඳුළක් නිතැතින් ගලා ආවේය. රෝහලට ඇතුළත් කළ බිලිඳිය රෝහල් කාර්ය මණ්ඩලය එක්වී කඩිනමින් පිරිසිදු කර නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කොට ප‍්‍රතිකාර ලබාදීමට කටයුතු කළේය. බිලිඳාගේ සම දැඩි ලෙස වියළී නොගොස් තිබීම, කපා තිබූ පෙකනි වැල රුධිරයෙන් තෙත් වී තිබීම හා දරුවාගේ බාහිර ලක්ෂණවලින් දරුවා ප‍්‍රසූත කර ඇත්තේ පැය කීපයකට පමණ පෙර බව නිගමනය කළ හැකි බව ද රෝහලේ වෛද්‍ය අධිකාරි සුමිත් අත්තනායක මහතා පැවසීය. සුදෝ සුදුව



න් කිරිකැටි බිලිඳිය මේ වෙන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවේ. රෝහල තුළ ඇයට මව්වරුන් බොහෝය. වැදූ මවගේ නොමැති ආදරය සෙනෙහස බිලිඳියට නොඅඩුව ලැබෙන්නේ ය. මේ සම්බන්ධව මාධ්‍ය මඟින් අනාවරණය වීමෙන් අනතුරුව දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් දැරියව හදාගැනීමට අවශ්‍ය බව පවසා දුරකථන ඇමතුම් පුත්තලම පොලිසියටත් රෝහලටත් නිරන්තරයෙන් ලැබෙන බව සඳහන්ය. මින් කියැවෙන්නේ දස මාසයක් කුස තුළ රඳවා අනේක දුක් විඳ වැදූ මව දරුවා මහමග දමා යෑමට තරම් අකාරුණික වූවත් දරුවා ඉල්ලා සිටින්නා වූ කාන්තාවන්ගේ ලේ කිරට හැරෙනවා යන්න නොවේද?

මේ වන විට සිද්ධිය සම්බන්ධව පොලිසිය විවිධ පැතිකඩ ඔස්සේ විමර්ශන කටයුතු සිදු කරයි.

පුත්තලම පොලිසියේ මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් කුලතුංග ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් සැරයන් 651 ජයකොඩි, පොලිස් සැරයන් 15782 කුලරත්න, කාන්තා පොලිස් කොස්තාපල් 9962 මධුෂා යන නිලධාරීන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි

No comments:

Post a Comment

Post Bottom Ad