සාමකාමි මැතිවරණයකට ජනතාව රජයට දුන් සහාය අගය කරනවා - අකිල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 19, 2019

සාමකාමි මැතිවරණයකට ජනතාව රජයට දුන් සහාය අගය කරනවා - අකිල

සාමකාමි මැතිවරණයකට ජනතාව රජයට දුන් සහාය අගය කරනවා - අකිල

ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව රජයට ලබාදුන් සහයෝගය වෙනුවෙන් කෘතවේදීත්වය පළ කරන බව නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ යටතේ හංසයා ලකුණෙන් ජනාධිපතිවරණයට එක්වූ සජිත් ප්‍රේමදාස මහතා  වෙත 41.99%ක ප්‍රතිශතයක් සහිත ව ඡන්ද 5,564,239ක් ලබාදුන් ශ්‍රී ලාංකීය ජනතාවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් මගේ හෘදයාංගම ස්තුතිය පිරිනමන බවත් ඔහු පැවසීය.

රට තුළ පැවති ප්‍රජාතන්ත්‍රවාදයේ නිම්වළලු පුළුල් කොට, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමින් අප විසින් ඇතිකරන ලද නිදහස් හා සාමකාමී වාතාවරණය හේතුවෙන් මෙවර පූර්ව මැතිවරණ සමය තුළ, මින් පෙර අප අත්දුටු අමිහිරි අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදුනොවූ බව ද ඔහු අවධාරණය කළේය.

ජනාධිපතිවරයා තෝරාපත්කරගැනීම වෙනුවෙන් ජනතාව ලබා දුන් තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන පක්ෂයක් වශයෙන් නිහතමානීව පිළිගන්නා බවත් පැවසීය.

දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් රටේ ජනතාවගේ ආගම හෝ ජාතිය දඩමීමා කරගැනීම අප පක්ෂයේ ප්‍රතිපත්තිය නොවන බවත්  එහෙත් මෙවර මැතිවරණ ප්‍රතිඵලය මගින් පෙන්වා දෙන්නේ, ජනතාව තුළ ආගම සහ ජාතිය පිළිබඳ පටු දේශපාලන අදහස් කුළුගැන්වීමට කටයුතු කළ පක්ෂය ජයග්‍රහණය ලබා ඇති බවයි. ඒ සඳහා ජනමතය ගොඩනැගීමට දායක වන ඇතැම් පාර්ශව විසින් කටයුතු කළ ආකාරය ද නිවැරදි හෝ සාධාරණ නොවන බවත් ඔහු අවධාරණය කළේය. ‍ෙ

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ  ජයග්‍රහණය වෙනුවෙන් ස්වකීය ඡන්දය ප්‍රකාශ කරමින්, ගතවූ වසර පහකට ආසන්න කාලය තුළ අප විසින් ක්‍රියාවට නංවන ලද  සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරිම පිණිස පෙනී සිටි සියලු ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් වෙනුවෙන් තවදුරටත් අඛණ්ඩව පෙනී සිටින බවත්, ඒ වෙනුවෙන් අප පක්ෂය දිවිහිමියෙන් පෙනී සිටින බවත් ඔහු මෙහිදි වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad