7වැනි ජනාධිපති තෝරා ගැනීමට සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 15, 2019

7වැනි ජනාධිපති තෝරා ගැනීමට සූදානම්

ත්වැනි ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසීම හෙට (16දා) උදෑසන 7.00 සිට සවස 5.00 දක්වා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

අද (15දා) සිට ඡන්ද විමසීම අවසන් වනතුරු හා ප්‍රතිඵල නිකුත් කර සතියක කාලයක් යන තුරු පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද සකස් කර තිබේ.

මෙහි ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් හැට දහසකට අධික ප්‍රමාණයක් රාජකාරියේ යොදවා සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යෙදවීමට සැලසුම් කර තිබේ. මීට අමතරව ජංගම පොලිස් සංචාර හා මාර්ග බාධක යෙදවීමට සැලසුම් කර ඇති අතර, පොලීසියේ සහයට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යෙදවීමට හා සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන් යෙදවීමටද නියමිතය.

ඡන්ද පොළවල් දොළොස් දහස් අටසිය පනස් හයක් පිහිටුවා තිබෙන අතර, 2018 ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන් සියලුම ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ.

මේ අනුව ඡන්ද දායකයන් එක්කෝටි පනස් නව ලක්ෂ අනූදෙදහස් අනූහයක් සුදුසුකම් ලබා තිබෙන අතර, මෙම පිරිසෙන් හයලක්ෂ පනස් නවදහස් තුන්සිය දාහතක් තැපැල් ඡන්ද දායකයන් වේ. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ පසුගිය මස 31 හා මේ මස 01 වැනි දින හා 4 සහ 5 යන දිනවල පැවැත්විණි.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් තිස්පස් දෙනෙකු තරග කරන අතර, මේ නිසා තැපැල් ඡන්ද පත්‍රිකාවේ දිග අඟල් 26ක් බවට පත්වී තිබේ. මැතිවරණ රාජකාරි සඳහා ලක්ෂ දෙකකට අධික රාජ්‍ය සේවකයන් ඍජුවම රාජකාරියේ යොදවා තිබෙන අතර, ගණන් කිරීමේ මධ්‍යස්ථාන ප්‍රමාණය හතළිස් තුනකි.

ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව තර කිරීම සඳහා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාවට අමතරව, ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආසන්නයේ මාර්ග බාධක යෙදීමටත් සැලසුම් කර තිබේ.

සමස්ත ඡන්දපොළවල් ආවරණය වන පරිදි පොලිස් ජංගම මුර සංචාර තුන්දහස් හතළිස් තුනක් සිදුකිරීමට සැලසුම් කර තිබෙන අතර, මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා යොදා සිටින පොලිස් නිලධාරීන් අද (15දා) දිනයේදී අදාළ ස්ථාන වෙත වාර්තා කිරීමටද නියමිතය.

මේ අතර, ආරක්‍ෂක කටයුතු සඳහා පොලීසිය ඉල්ලීමක් කළහොත් එම කටයුතු සඳහා හමුදාව යෙදවීමට කටයුතු කරන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.

මැතිවරණයට අදාළ රාජකාරී කටයුතු පොලීසිය විසින් සිදුකරන බවත්, එහෙත් යම් අවස්ථාවක ආරක්‍ෂක කටයුතු සඳහා හමුදාවේ සහාය ඉල්ලා සිටියහොත් ඒ සඳහා භට කණ්ඩායම සූදානම් කර තිබෙන බවද %අද^ කළ විමසීමකදී  බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේය.

අදාළ රාජකාරී කටයුතු සඳහා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව යෙදවීමට හැකියාව තිබෙන බවත්, යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් එම කටයුතුවලටත් ත්‍රිවිධ හමුදාව යොදවන බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.

පළමු ඡන්ද ප්‍රතිඵලය හෙට (16දා) මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලබාදීමට හැකියාව තිබෙන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad